සත්පුරුෂ දාන සූත්‍රය (අංගුත්තර නිකාය – පංචක නිපාතය – තිකණ්ඩකී වර්ගය)




෴ සත්පුරුෂ දාන සූත්‍රය ෴
 

භාග්‍යවත් අරහත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
මහණෙනි, මේ සත්පුරුෂ දාන පහකි. කවර පහක් ද යත්,
ශ්‍රද්ධාවෙන් දන් දෙයි.
සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දාන වස්තුවෙහි ලෝභ සිතින් නොබැඳී දන් දෙයි. තමාගේද අන්‍යයන්ගේද ගුණ නොනසා ගුණ නොපෙළා දන් දෙයි.
මහණෙනි ශ්‍රද්ධාවෙන් දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද,
මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, 
ආඪ්‍ය වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වෙයි. දැකුම්කළු වෙයි. ප්‍රසන්න වෙයි. උසස් රූප සම්පත්තියෙන් යුක්ත වෙයි.
මහණෙනි සකසා (මැනවින් සකස්කොට) දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, 
ආඪ්‍ය වෙයි. පුත්‍ර භාර්යාවෝද, කම්කරුවෝද, දාසයෝද ඇතුළු සිය පිරිවර මැනවින් කීකරු වූයේද, විශ්වසනීය වූයේද, උපදෙස් පතන්නේද, උපදෙස් පිළිපදිනසුළු වූයේද වෙයි.
මහණෙනි නිසිකල්හි දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, 
ආඪ්‍ය වෙයි. ප්‍රමාද රහිතව, නිසි කල්හිම සම්පත් ලබන්නේද වර්ධනය වන්නේද වෙයි. නිසි කල්හි ප්‍රාර්ථනා සිද්ධ වන්නේ වෙයි.
මහණෙනි දාන වස්තුවෙහි ලෝභ සිත රහිතව, නොබැඳි සිතින්ම දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, 
ආඪ්‍ය වෙයි. උසස් වූ උදාර වූ පස් කම් සුව ලබන්නේ වෙයි.
මහණෙනි තමාගේත් අන්‍යයන්ගේත් ගුණ නොනසා, නොඝටා, අන්‍යයන් නොපෙළා, දන් දීමේ විපාක යම් තැනෙක හටගන්නේද, එහි මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ, ආඪ්‍ය වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ තමන්ට අප්‍රිය වූවන්ගෙන් හෝ කිසිවකුගෙන් ඔහුගේ ධනයට හානි නොවෙයි.

මහණෙනි, මේ සත්පුරුෂ දාන පසයි.




-- 

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+