කරදරකාරයන් සමග කටයුතු කරන්නේ කෙසේද..







​කරදරකාරයන් සමග කටයුතු කරන්නේ කෙසේද..?
අප ඇසුරු කරන අය අතර සිටින කරදරකරී පුද්ගලයන් කරදරකාරී පුද්ගලයන් වී ඇත්තේ ඇයි? යන්න තේරුම් ගෙන, ඔවුන් සමඟ සතුටෙන්, සාමදානයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට මෙම කරුණු ඔබට ප්‍රයෝජනවත් වනු නිසැක ය. මෙම ලිපිය සැකැසුණේ පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් පැවැත්වූ දේශනයක් ඇසුරෙනි.
ධර්මය ඉගෙනීමෙන්, භාවනා කිරීමෙන් වැඩි දියුණු කරගන්නා ප්‍රඥාව හා අවබෝධය උපයෝගී කරගන්නේ කෙසේද යන්නට අදාළ කාරණයක් වූ 'කරදරකාරී පුද්ගලයන් සමග කටයුතු කරන්නේ කෙසේද' යන මාතෘකාව යටතේ අද දේශනය පවත්වන්නැයි කෙනෙක් මගෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අද දේශනයේ මාතෘකාව 'කරදරකාරි පුද්ගලයන් සමග කටයුතු කරන්නේ කෙසේද?' (තවත් විධියකින් කිව්වොත්: 'නොරුස්නා පුද්ගලයන් සමග වැඩ කටයුතු කරන්නේ කෙසේද?') යන්නයි. මුලදී කිව්වා වගේ මම මේ මාතෘකාව භාර ගැනීමට වැඩිපුරම කැමැති වුණේ බුද්ධාගමේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් හා භාවනාවෙන් ලබන්නා වූ ප්‍රඥාව අපේ එදිනෙදා ජීවිතයට භාවිතා කරගන්නේ කෙසේද යන්න මේ මාතෘකාවෙන්ද සනාථ වන නිසයි. බුද්ධාගමේ බලාපොරොත්තු වන මූලික අපේක්ෂාවද දුකෙන් මිදී දුකෙන් නිදහස් වී අවසාන අරමුණ වූ නිර්වාණ මාර්ගයට ළඟා වීමයි.
මෙහි දී මා වැඩිපුරම උනන්දු වන්නේ බුද්ධාගමේ ඇත්තා වූ ප්‍රායෝගික පැත්තට අවධානය යොමු කිරීමටයි. අද මම මේ පවත්වන දේශනය ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව වැදගත් වෙනවා. මක් නිසාද යත්: විටින් විට කරදරකාරී පුද්ගලයන්, නොරුස්සන පුද්ගලයන් සමග ඔබටත් කටයුතු කරන්න සිදු වන නිසා. මේ ලෝකයේදී කාට වුණත් කරදරකාරී පුද්ගලයන් සමග කටයුතු කරන්න සිදු වනවා.
මා භික්‍ෂුවක් නිසා, මම බොහෝ සුන්දර ජීවිතයක් ගත කරනවා ඇති, කරදරකාරී පුද්ගලයන් සමග මා වගේ පුද්ගලයකුට කටයුතු කරන්න සිදු නොවනවා ඇති කියා සමහරු සිතන්න පුළුවන්. එහෙත් ඔබට වගේ මටත් කරදරකාරී පුද්ගලයන් සමග කටයුතු කරන්න සිදු වෙනවා. භික්‍ෂූන් වූ අපට කරදරකාරී පුද්ගලයන් මේ තරම් ආකර්ෂණය වී තිබෙන්නේ මොකද කියා මට හිතාගන්නවත් බැහැ! තමන්ගේ දුක් කරදර රැගෙන යන්න වෙන තැනක් නැති වුණාම හාමුදුරුවන්ගේ කරුණාව, දයාව ගැන දන්න කියන බොහෝ දෙනා හාමුදුරුවරු සොයාගෙන එනවා.
කොහොම වුණත් අපට කරදරකාරී පුද්ගලයන්, අප නොරුස්සන පුද්ගලයන් සමග නිසැක වශයෙන්ම කටයුතු කරන්න සිදු වෙනවා.
කරදරකාරි පුද්ගලයන් සමග කටයුතු කරන්නේ කොහොමද? කියා සිතන විට මුලින්ම වැදගත් වන්නේ කරදරකාරි පුද්ගලයන් යනු අපේ ජීවිතයේම කොටසක් විත්තිය පිළිගැනීමයි. ඒක තේරුම් ගත්තාම, කරදරකාරී පුද්ගලයන් සිටීම අමුතුම දෙයක් කියා සිතන්නේ නැතුව යනවා.
ඔබ කුමක් කළත්, ඔබ කොහේ ගියත්, ඔබ කොයි විදිහට හැසිරුණත් ඔබට නොරුස්සන පුද්ගලයන් මුණගැසෙනවා. එනිසා මුල්ම කාරණය තමයි කරදරකාරී පුද්ගලයන් නැත් නම් ඔබ නොරුස්සනා පුද්ගලයන් සිටීම වෙන්න බැරි දෙයක් කියා නොසිතා සිටීමයි.
මගේ ගුරුවරයා වූ අජාන් චා මහ තෙරුන් වහන්සේ පැවසූ විදිහට, ඔබත් කරදරකාරී පුද්ගලයන් ඔබේ ජීවිතයට ආශීර්වාදයක් ලෙස සිතන්න. ඔවුන් අපට ඉවසන හැටි උගන්වනවා. ඔවුන් අපට කරුණාව, දයානුකම්පාව, උගන්වනවා. ඒ වගේම අපේ ප්‍රඥාව වැඩි දියුණු කරගැනීමට ඔවුන් අපට උදව් වෙනවා. ඔබ දන්නා-හඳුනන යහපත් මිනිසුන්ගෙන්, ඔබේ කරදරකාරයන්ගෙන් ඉගෙනගන්නා තරම් දේවල් ඔබ ඉගෙනගන්නේ නැහැ. ඔබට ඔවුන් සමග හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ ඔබේ ජීවිතයේ බොහෝ පාඩම් ඉගෙනගෙන ඇත්තේ කරදරකාර පුද්ගලයන්ගෙන්.
එනිසා ඔබ යමෙක් නොරුස්සන්නේ නම්, ඔබට යම් කෙනෙක් කරදරකාරී නම් ඔවුන් නිසා ඔබ ඉගෙනගනියි. මේ නිසා තමයි, අපි නැගෙනහිර තායිලන්තයේ ජීවත් වෙද්දී එහි සිටි මදුරුවන් 'අජාන් මදුරුවන්' ලෙස හඳුන්වන්න පුරුදු වෙලා සිටියේ! තායිලන්තයේදි අජාන් කියන්නේ ගුරුවරයාට. මේ හින්ද මදුරුවන් අපි ගුරුවරුන් ලෙසයි සැලකුවේ. මේ කරදරකාරි මදුරුවන්ගෙන් අපි බොහෝ දේ ඉගෙනගත්තා.
වෙන එකක් තියා බෞද්ධයන් වශයෙන් අපි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! දුකින් මිදෙත්වා! කියා කියනවා; සියලු සත්ත්වයෝ සතුටෙන් සිටිත්වා! සුවපත් වෙත්වා! කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කොහොම වුණත් තරුණ වියේ පසු වූ භික්‍ෂුවක් විදිහට මට තායිලන්තයේදී එය කරන්න බැරි වැඩක් වුණා. මට කරන්න පුළුවන් වුණු හොඳම දේ තමයි 'සියලු සත්ත්වයෝ, නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සතුටින් සිටිත්වා, සුවපත් වෙත්වා, ඒත් මදුරුවන් හැර' කියා ප්‍රාර්ථනා කිරීමයි. මක් නිසාද යත්: ඔවුන් මට කළ දේ ඔවුන්ට පල දෙන්න ඕන නිසයි. එහෙත් මේ විදිහට එක් කොටසක් අත්හැර-දමා අනිත් අයට නිදුක් වේවා කීමෙන් ප්‍රයෝජනයක් නැති විත්තිය මා ඉගෙනගත්තා.
ඒ වෙනුවට මේ මදුරුවන්ගෙන් ඉගෙනගත යුතු බව මා හිතාගත්තා. ඔවුන්ගෙන්, ඔවුන්ට කරුණාවන්ත වෙන්න ඉගෙනගන්න පුළුවන්. සමහර වේලාවට ඔවුන්ට කරුණාවන්ත වී මේ මදුරුවන්ට මා සපා කෑමට මා ඉඩ දුන්නා. ඔවුන් මගේ අත්බාහුවේ වැසූ විට 'එන්න මදුරුවනි. ඔබලාට මා සපාකන්න පුළුවන්' කියා මා කිව්වා; 'මගේ හදවත ඔබ සඳහා විවෘතයි' කියා කිව්වා; 'මටත් එක්කම ඔබේ රාත්‍රි භෝජනය ගන්න' කියා මා ඔවුන්ට කිව්වා.
මා ඔවුන්ගෙන් ඉගෙනගත් පළමුවන පාඩම මේකයි. කරදරකාරි පුද්ගලයන්, කරදරකාරි අවස්ථා අරුමයක් නොවෙයි. අපට කරදරකාරි මදුරුවන්ගෙන්, කරදරකාරි පුද්ගලයන්ගෙන්, කරදර අවස්ථාවලින් මිදෙන්න හිතාගෙන, සිටි තැනින් පලාගොස් කොතනකට හෝ වී වසන් වී ඉන්න බැහැ. මා ඔවුන්ගෙන් ඉගෙනගත් පළමුවන පාඩම තමයි කරදරකාරි පුද්ගලයන්, කරදරකාරි අවස්ථාවන්, කරදරකාරි අත්දැකීම් තිබෙන බව පිළිගැනීමයි. එය යථාර්ථයක් නිසා ඔවුන් සමග කටයුතු කරන්නේ කොහොමද? කියන කාරණාව ගැන ඔබ ඉගෙනගත යුතුයි. මෙය ජීවිතයේම කොටසක් වන අතර, එයින් ඔබට බොහෝ දේ ඉගෙනගත හැකියි.
ඊළඟට ඉගෙනගත යුතු දෙවැනි පාඩම තමයි, මේ කරදරකාරි පුද්ගලයන්, කරදරකාරි අවස්ථාවලින් වැඩිහරියක් ඉස්මතු වෙන්නේ වෙන කාගෙන් වත් නොව ඔබ තුළින්ම බව ඉගෙනගැනීමයි: ඔබ ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුවයි.
ඔබ කරදරකාරි පුද්ගලයන් දැක තිබෙනවාද? සමහර විට ඔහු ඔබේ ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්. එහෙම නැත් නම් ඇය ඔබේ බිරිඳ වෙන්න පුළුවන්. බොහෝ විට ඔබම තෝරාගත් සහකාරයා හෝ සහකාරිය වෙන්න පුළුවන්. ඒක ඔබේ කර්මය. ඔවුන්ට ඔබ සමග ජීවත් වෙන්න වෙන්නෙ දවසේ බොහෝම කෙටි කාලයක් විතරයි. ඒත් මතක තියාගන්න මේ කරදරකාරි පුද්ගලයන්ට මුළු දවසම ඔවුන් සමගම ගත කරන්න සිද්ධ වෙනවා.
සමහර විට ඔබට ඔවුන් කොතරම් නොරුස්නාදැයි ඔබ සිත කරදර කරගන්නා විට ඔවුන්ට ඔවුන්වම නොරුස්සන නිසා සිත කරදර කරගෙන ඉන්න පුළුවන්. මේ අසරණ මනුස්සයන්ට, වගේ නොරුස්නාසුලු මනසක් ඇතිව දවසේ පැය විසිහතරම ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. කරදරකාරි පුද්ගලයෙක් දැක්කාම ඔබට ඔවුන් සමග ජීවත් වීම නොරුස්නා වගේම ඔවුන්ටම ඔවුන් සමඟ ජීවත් වීමද නොරුස්නා විත්තිය මතක තියාගන්න. මේ නිසා ඔවුන් කරුණාවෙන් ඉවසා වදාරන්න. ඔවුන් ඔබට කරදරයක් වී ඇති තරමටම ඔවුන්ටම ඔවුන් කරදරයක් වී ඇති බව සිහිපත් කරන්න.
කරදරකාරී ස්වභාවය ඔවුන් සිතින් දරාගෙන සිටින විත්තිය, ඔවුන් හදවත පුරවාගෙන සිටින විත්තිය, ඔවුන්ගේ මුළු මහත් ජීවිතයම වැලඳ සිටින විත්තිය සිහිපත් කරන්න. ඔවුන්ගේ කරදරකාරි ගති සොබාවය, අනුන්ට කරදර කිරීමේ පුරුද්ද නිසා ඔවුන් හිතවතුන් මිතුරන් නැතිව හුදෙකලාවේ සිටින බව අමතක කරන්න එපා. මෙසේ සිතීමෙන් ඔබට එවැනි පුද්ගලයන්ට මෛත්‍රී කරන්න පුළුවන්; කරුණා දයාවෙන් සිතන්න පුළුවන්.
ඊළඟ කාරණය තමයි මේ කරදරකාරී පුද්ගලයන් නැත් නම් නොරුස්නා සහගත පුද්ගලයන් ඔබට වෙනස් කරන්න පුළුවන් වෙනවා. අනිත්-එක ඔබ මුහුණපාන ඔවුන්ගේ නොරුස්නා ගති ස්වභාවය සදහටම පවතින්නක් නොවන විත්තිය මතක තියාගන්න: උපතේ සිට මරණය දක්වා සදාකාලිකව පවතින දෙයක් නොවෙයි. ඔබට ඔවුන් වෙනස් කරන්න පුළුවන් නම්, ඔවුන් වෙනස් කිරීමෙන් ඔවුන්ට වර්ධනය වීමට ඉඩ සලස්වන්න ඔබට පුළුවන්.
ඔබ මෙවැනි පුද්ගලයන් වෙනස් කරන්නේ කොහොමද? ගුරුවරයකු විදිහට මා ඉගෙනගත් මනෝවිද්‍යාව මේක. ඔවුන් සමග සබඳතා පැවැත්වීමෙන්, ඔවුන්ගේ මේ කරදරකාරී ස්වභාවයට නැත් නම් නොරුස්නාසුලු ස්වභාවයට මුල් වුණ හේතු සාධක හඳුනාගන්න අවශ්‍ය වෙනවා. මේක කරන්නේ කොහොමද? මේ පිළිබඳ සති හයකට විතර ඉස්සර මා සිංගප්පූරුවේදි මුහුණ පෑ අත්දැකීමක් වැදගත් වෙනවා. එක්තරා සම්මේලනයක දේශනයක් පැවැත්වීමට මට ආරාධනා කර තිබුණා. එය මානසික සෞඛ්‍යය තේමාව කර පැවැත්වූ සම්මන්ත්‍රණයක්; එක්තරා රෝහලක සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණු සම්මේලනයක්. මනෝවිද්‍යාඥයන්, මනෝ චිකිත්සකයන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් අතරේ 'මානසික සෞඛ්‍යය සඳහා කළ යුත්තේ කුමක්ද?' යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන්නට මටත් ආරාධනා කර තිබුණා. මේ දේශනය පැවැත්වීමෙන් පසු ආගම ගැන බොහෝම කැප වීමෙන් ක්‍රියා කළ එක්තරා ක්‍රිස්තියානි පුද්ගලයෙක් මා බැහැදකින්නට ආවා. ඔහු එම රෝහලේ එක් වාට්ටුවක් බාර නිලධාරියෙක්; අංශ භාර ප්‍රධානියෙක්.
ඔහු බාරව සිටි වාට්ටුවට පැමිණ පිරිත් දේශනයක් පවත්වන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටියා. මේ ගැන වෙන කාටවත් කියන්නත් එපායැයි ඔහු මගෙන් ඉල්ලා සිටියා. මා වැනි බෞද්ධ භික්‍ෂුවක් වාට්ටුවට පැමිණ රෝගීන් සඳහා මේ වගේ කටයුත්තක් කිරීමේ ප්‍රතිඵලය කුමක්දැයි මම ඔහුගෙන් ඇසුවා.
බොහෝම මෑත කාලයේ සිට රෝගීන් සඳහා භාවිත කරන ක්‍රමවේදයක් ගැන මට ඔහු විස්තර කළා. අසනීපව සිටින, ආම්බාන් කරන්නට අමාරු රෝගීන් අවුල් සහගත විදිහට, සිහි මඳව, කරදරකාරි විදියට හැසිරෙන වේලාවල් තිබෙනවා. මේ කියන වේලාවල් බැහැර කරන්න. ඔවුන් නීරෝගීව, සන්සුන්ව සිටින වේලාවල්ද තිබෙනවා. ඔවුන් ඒ වගේ වේලාවට ඉතා යහපත් ප්‍රතික්‍රියා දක්වනවා. අන්න ඒ කියන වේලාවල්වලට අපි අපේ අවධානය ඔවුන්ට යොමු කරන්න ඕන. ඔවුන් නීරෝගීව සිටින වේලාවල්වල ඔවුන්ට අවධානය යොමු කිරීමෙන් සුවපත් කිරීම සක්‍රීයව සිදු වෙනවා. මේ ක්‍රමය වර්තමාන ප්‍රතිකාර ක්‍රමය තුළ තහවුරු වෙමින් පවතිනවා. මෙය මානසික රෝහල්වල මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ක්‍රමවේදයක්.
කරදරකාරී පුද්ගලයන්, නැත් නම් වෙනත් අය නොරුස්නා විදියට හැසිරෙන පුද්ගලයන් ගැන මම දන්නවා. ඔවුන් කරදරකාරි විදිහට, නොරුස්නා විදිහට හැසිරෙන වේලාවල්වල ඔබේ අවධානය ඔවුන්ට යොමු කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ කරදරකාරී බව, නොරුස්නා ගති ස්වභාවය තවදුරටත් වැඩි වීමයි; එය තව තවත් පෝෂණය කිරීමයි. ඒ මගින් ඔවුන්ගේ තත්ත්වය තව-තවත් උත්සන්න වෙනවා.
මේකට සම්බන්ධ කදිම උදාහරණයක් තිබෙනවා. මේ කතාව ඔබ මීට පෙර අසා ඇත් නම් කරදරකාරී භික්‍ෂුවක් නැවත සැරයක් කියන එම කතාව ඉවසීමෙන් අසාගෙන ඉන්න!
රජතුමා නැති වේලාවක යක්ෂයෙක් රජ වාසලට රිංගුවා. මේ යක්ෂයා හරිම භයංකාර පෙනුමක් තිබෙන, හරිම අවලස්සන, ඒ වගේම කුණු ගඳ ගහන යක්ෂයෙක්. මාළිගාවේ සිටි ඔක්කොම බයෙන් වෙවුලන්න පටන් ගත්තා. මේ නපුරු යක්ෂයා රජ වාසලට ඇතුළු වෙලා කෙළින්ම රාජ සභාවට ගිහින් රජතුමාගේ සිංහාසනයේ වාඩි වුණා. බයෙන් මුසපත් වෙලා සිටි ඇමැතිවරුන්, රාජ සභාවේ මුරභටයන්ට සිහිය ඇවිත් බලනකොට මේ යක්ෂයා රජතුමාගේ සිංහාසනේම වාඩිවෙලා ඉන්නවා දැක්කාම හොඳටම තරහ ගියා.
"මෙතනින් පලයන්. උඹ කවුරු කියල ද උඹ සිතුවේ. මේක උඹ වගේ යක්ෂයෙක් වාඩිවෙන ආසනයක් නොවෙයි; රජතුමාගේ සිංහාසනය. වහාම නැගිටලා එලියට බැහැපන්" කියා ඇමැතිවරුත්, මුරභටයොත් කෑගැහැව්වා.
මේ දරුණු වචන ටික ඇහුණාම, යක්ෂයා තවත් අඟලක් ලොකු වුණා; ඒ විතරක් නොවෙයි අර කැත භයංකර පෙනුම තවත් වැඩි වුණා; ගඳ උහුලන්න බැරි තරම් වැඩි වුණා; යක්ෂයාගේ බාසාවත් හරිම දරුණු වුණා.
මේක දැක්කාම ඇමැතිවරුත්, මුර භටයොත් අන්ද-මන්ද වුණා. ඒ ඇත්තො ආයෙත් කෑගැසුවා; අතපය උරුක් කර යක්ෂයාට බැන්නා.
හැම නපුරු තර්ජනයකින්ම වුණේ එකම දෙයයි. යක්ෂයා තවත් ලොකු වුණා. නපුරු පෙනුම තවත් භයංකර වුණා. ගඳ උහුනන්න බැරි තරම් වැඩි වුණා. කතා කරන වචන සැර-පරුෂ වුණා.
තරහෙන් කරපු හැම වැඩකින්ම, හැම අකරුණාවන්ත වචනයකින්ම, යක්ෂයා තවත් විශාල වුණා. භයංකර වුණා. ගඳ වැඩි වුණා. කතා කරන වචනත් හරිම භයංකර වුණා.
මේ වැඩේ මේ විදියට කෙරීගෙන ගියා. ඇමැතිවරු යකාට නපුරු වචනවලින් බැන්නා. අකරුණාවන්ත වුණා. තර්ජනය කළා. යකා එන්න එන්න විශාල වුණා. තවත් නපුරු වුණා. භයංකාර වුණා.
මේ අතරවාරයේ රජතුමා එතනට ආවා. ඒ වෙනකොට යක්ෂයා සිංහාසනයෙන් බාගයක් ම වැහෙන්න තරම් මහත-දෙහෙත වී සිටියා. විශාල වී සිටියා. භයංකාර වී සිටියා. වචන හරිම භයංකරයි. නපුරුයි. මේ රජතුමා හරිම ඥානවන්තයි; ඉවසිලිවන්තයි. ඔහු යක්ෂයා ඉස්සරහට ගියා. ගිහින් බොහෝම කරුණාවෙන් කතා කළා.
"කොච්චර දෙයක්ද මෙහාට ආපු-එක. මම ඔයා සාදරයෙන් පිළිගන්නවා. ඔයා මෙහේ ආපු-එක ගැන මට හරි සතුටුයි. මෙහාට එන්න මේ තරම් පහුවුණේ මොකද?" කියා රජතුමා කිව්වා.
රජතුමාගේ කරුණාවන්ත කතාව ඇහෙන කොට යක්ෂයා අඟලෙන් අඟල, අඟලෙන් අඟල පුංචි වුණා.
රජ මාළිගාවේ සිටි ඔක්කොටම තමන් අතින් වෙච්ච වැරැද්ද තේරුණා. "පලයන් යන්න. මෙහාට රිංගන්න උඹ කවුද?" කියලා නපුරු වචන කියනවා වෙනුවට 'ඔයා සාදරයෙන් පිළිගන්නවා' කියලා කරුණාවෙන් කතා කරන කොට යක්ෂයා පුංචි වෙන විත්තිය, මෙහෙම වෙන විත්තිය ඒ ඇත්තන්ට පෙනුණා.
"ඔයාට බොන්න මොනවා හරි ගේන්නද?" රජතුමා යකාගෙන් බොහෝම කරුණාවෙන් ඇසුවා. රජතුමා මේ විදිහට කරුණාවෙන් කතා කරන කොට, දයාවෙන් කටයුතු කරන කොට, කරුණා සහගත සිතකින් යක්ෂයාට සලකන කොට යකා එන්න එන්න පුංචි වුණා. භයංකාර පෙනුම නැතිවෙලා ගියා. ගඳ නැත්තටම නැති වුණා.
අන්තිමේ දී යක්ෂයා රාජ මාළිගාවට එන වේලාවේ සිටි තරමට පුංචි වුණා. තවත් එක සැරයක් කරුණාවෙන් කතා කරන කොට යක්ෂයා සහමුලින්ම අතුරුදන් වුණා.
බුදු රජාණන් වහන්සේ මේ කතාව දේශනා කර තිබෙනවා. උන් වහන්සේ කිව්වේ කෝපය වැඩි වෙන්න වැඩි වෙන්න යක්ෂයා ලොකු වෙන වගයි; නපුරු වෙන වගයි; ගඳ වැඩිවෙන වගයි; කතා කරන වචන භයංකාර වන වගයි. කෝපය නම් යක්ෂයා අප ගොදුරු කරගැනීම වැළක්වීමට පුළුවන් වන්නේ කරුණාවන්තකම විදහා දැක්වීමෙන් විත්තිය උන් වහන්සේ පැවසුවා.
ඔබට ඔබේ ජීවිතයේදි හමු වන කරදරකාරි පුද්ගලයන් වැඩිදෙනා කෝපය ආහාරයට ගන්නා යක්ෂයෝ. ඔබ 'මෙතනින් පලයන්' කියා නින්දා අපහාස කොට ඔවුන් තරහ ගැස්සුව හොත් ඔවුන්ගේ කෝපය තව තවත් වැඩිවෙනවා. මේ නිසා ඒ වගේ සමහර කරදරකාරි පුද්ගලයන් තරහ ගස්වන්නේ නැතුව ඔවුන්ට සාදරයෙන් පිළිගන්නවා යැයි කියන්න; 'මා බලන්න ආවට ස්තුතියි' කියා කියන්න. ඔවුන්ට කරුණාවෙන් සලකන්න.
කරදරකාරී පුද්ගලයන්ට ඔය ක්‍රමවේදය හරියන්නේ නැතැයි සමහරු කියන්නට පුළුවන්. එහෙම හිතන්න එපා. සහතික වශයෙන්ම මෙහෙම කළොත් ඔබට කරදරකාරි පුද්ගලයන් යහමඟට ගන්න පුළුවන්.
අවුරුදු විස්සකට විතර ඉස්සර මේ පිළිබඳව ලද අත්දැකීමක් මම දැන් ඔබට කියන්නම්.
මම ඒ දිනවල සිරකරුවන්ට උපදේශන සඳහා සිර කඳවුරකට යෑමට පුරුදුව සිටියා. ඒක ගොවිපොළක්. මම සිරකඳවුරේ සිටි සිරකරුවන්ට උගන්වමින් සිටියදී මා කියන දේවල් සැබෑ ලෝකයේදී ක්‍රියාත්මක කළ නොහැකි දේවල් බවත්, විශේෂයෙන් සිරගෙදරකදි නම් කොහොමටවත් ක්‍රියාත්මක කරන්න බැරි දේවල් බවත් එක සිරකරුවෙක් කියා සිටියා.
"සිරගෙවල් කියන්නේ බොහොම කටුක තැන්. හරිම ගොරෝසුයි. කරදරකාරී පුද්ගලයන් හමු වුණාම ඔවුන් එක්ක ඔබ ඔය කියන විදිහට කටයුතු කරන්න බැහැ. ඒගොල්ලන්ට ඔබ කියන විදිහට කරුණාවෙන් ඉන්න බැහැ. ඊට වෙනස් විදිහට තමයි වැඩ කරන්න වෙන්නෙ" කියා මේ සිරකරුවා කිව්වා.
"ඔබ කියන දේට මට කොහොමටවත් එකඟ වෙන්න බැහැ" මම කිව්වා. "හොඳයි, ඔබට මේ සිරකඳවුරේදි හමු වුණු ලොකුම කරදරකාරයා කවුද? ඔබ වඩාත් නොරුස්සන්නේ කවුද?" කියා මම ඇසුවා.
"වෙනත් කවුරුවත් නොවෙයි. හිරගෙදර ප්‍රධාන නිලධාරියා" කියා ඔහු කිව්වා. "හිරගෙදර නිලධාරීන්ට හැමදාම තේ නැත් නම් කෝපිවලින් සංග්‍රහ කිරීම තමයි හිරකරුවෙක් විදිහට මගේ රාජකාරිය. මම ඔය කිව්ව හාදයාට වෛර කරනවා. මට ඔය හාදයා රුස්සන්නේ නැහැ. මේ හාදයා හැම වේලාවෙම හරිම අප්‍රසන්න විදිහටයි වැඩ කරන්නේ" කියා මේ සිරකරුවා කිව්වා.
"
මේ හාදයා කොයිතරම් කරදරකාරයෙක්ද කියන එකට මම කදිම උදාහරණයක් කියන්නම්. කවදාවත් තමුන්ගේ ගෙදරින් කවුරුවත් තමන් බැහැදකින්නට නොආපු සිරකාරයෙක් මේ සිරගෙදර හිටියා. මේ සිරගෙදර බොහෝම දුරබැහැර තියෙන නිසාත් බස් එකකින්, කෝච්චියකින් මෙතනට එන්න විදිහක් නැති නිසාත් නෑදෑයින් මිතුරන් කාට හරි සිරකාරයෙක් බැහැදකින්න එන්න ඕන වුණත් ඒක හරිම අමාරු වැඩක් වුණා. වාසනාවකට මේ සිරකරුවා දැක බලාගන්න ආපු එයාගේ භාර්යාවට තවත් කෙනෙකුගේ කාර්-එකකින් එන්න ඉඩ ලැබුණා.
"සිරගෙදරට සිරකරුවන් මුණගැහෙන්න එන කෙනෙකු මුලින්ම ගේට්ටුව ළඟදි නම-ගම අහලා, ගෙනාපු බඩු-මුට්ටු පරීක්ෂා කරනවා. මේ කිව්ව හිරගෙදර ප්‍රධානියා මේ කාන්තාවගේ බඩු-මුට්ටු පරීක්ෂා කරනවා දැක්කා. ඇය ඇවිත් ඉන්නේ අර සිරකාරයා මුණගැහෙන්න විත්තිය එයා දැනගත්තා. ඉතා වෙහෙස මහන්සි වී සිය සැමියා මුණගැසෙන්නට ආ මේ කාන්තාවට ඇගේ සැමියා මුණගැස්වීම වැළැක්වීමට ඔහු උපායක් යෙදුවා. අහවල් සිරකරුවාට සිරකඳවුරේ අහවල් රාජකාරිය පැවරී තිබෙනවා කියා ශබ්දවාහිනී යන්ත්‍රය මාර්ගයෙන් නිවේදනය කළ මේ නිලධාරියා අර සිරකරුවා සිරකඳවුරේ ඈත කොනක රාජකාරියට යැව්වා. එතැන ශබ්දවාහිනී යන්ත්‍ර මගින් අමතන්න බැරි තැනක්.
මෙය අතිවිශාල ගොවිපොළක්. සිරකරුවාගේ භාර්යාවගේ බඩු- මුට්ටු පරීක්ෂා කිරීමෙන් පසු අහවල් සිරකරුවාගේ භාර්යාව ඔහු බැහැදකින්නට ඇවිත් සිටින නිසා, ඇය හමු වන්නට විවේකාගාරයට පැමිණෙන්නැයි ශබ්දවාහිනියෙන් නිවේදනය කළා. ඔහු යවා තිබූ තැනට මේ නිවේදනය ඇසුණේ නැහැ. නිවේදනය කිහිපවරක්ම ප්‍රචාරය කළා. ඉන් පසු ඔහු සිටින්නේ කොතැනකදැයි සෙවීමට කෙනෙක්ද යැව්වා. ඔහු සොයාගන්න බැරි වුණා. අන්තිමේ ඔහු සිටි තැන සොයාගෙන, භාර්යාව ඇවිත් සිටින විත්තිය ඔහුට දන්වලා, ඔහු විවේකාගාරයට එන විට සිරකරුවන් හමුවීමට වෙන් කර තිබූ කාලය අවසන් වී තිබුණා. මේ විදිහට භාර්යාව මුණගැසීම වැළකී ගියා.
"මේ සිරගෙදර ප්‍රධානියා මේ වැඩේ කළේ ඕනැකමෙන්මයි. හිරකාරයාගේ ජීවිතය දුෂ්කර කිරීම තමයි ඔහුට ඕනෑ වී තිබුණේ. මේ වගේ පහත් පෙළේ වැඩ කිරීම නිසා මේ නිලධාරියා සිරකරුවන් විසින් හැඳින්වූවේ 'බල්ලා' යන පටබැඳි නමෙන්."
"ඔබ මේ නිලධාරියාට වෛර කරනවාද?" මම මා සමග කතාබහට වැටුණු සිරකරුවාගෙන් ඇසුවා.
ඔහු "සත්තකටම ඔව්" කියා කිව්වා. "මේ හාදයා හරිම කරදරකාරයෙක්; කිසි දවසක කාගෙවත් හොඳක් කියන්නේ නැහැ; සිරකරුවන්ට තුච්ඡ විදිහට සලකනවා." ඔහු කිව්වා.
"බොහෝම හොඳයි. මෙන්න ඔබට අභියෝගයක්," මම කිව්වා. "ඔහුට කරුණාවෙන් සලකන්න. ඔබ හැකි හැමවිටම ඔහුට හොඳම තේවලින් හෝ කෝපිවලින් සංග්‍රහ කරන්න. දෝතින් ඔහු වැලඳගන්න එපා. ඒත් අඩු තරමින් ඔබේ හදවතින් ඔහු වැලඳගන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔහු හමු වූ විටක හැමවිටම රසවත් තේ කෝප්පයකින් නැත් නම් කෝපි කෝප්පයකින් සංග්‍රහ කරන්න. ඔහු වඩාත් කැමැති මොන වගේ දේටදැයි සොයා බලන්න. ඔහුට කරුණාවන්ත වෙන්න. තේ හෝ කෝපිවලින් ඔහුට සංග්‍රහ කරන විට ඔබ සිනාමුසු මුහුණින් ඉන්න."
මේ සිරකරුවා මා කිව්ව විදිහටම කටයුතු කළා. සුමාන හතරක්ම එක දිගටම මේ විදිහට කළා. මුල් සතියේ ඔහු හමු වුණාම "කොහොමද? වැඩේ. පලක් තියෙනවාද?" කියා මා ඇසුවා.
"කිසිම ප්‍රයෝජනයක් නැහැ. මගේ මහන්සිය ඔක්කොම වතුරේ," ඔහු කිව්වා.
"
මේ හාදයා වෙනස් කරන්න මට පුළුවන් හැම දෙයක්ම කළා. බොහෝම රසට තේ හරි කෝපි කෝප්පයක් හදල දුන්න වේලාවටත් මගේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. කිසිම වචනයක් කිව්වේ නැහැ."
"පසුබසින්න එපා. ඔය විදිහටම දිගටම කරගෙන යන්න" මම ඔහු ධෛර්යමත් කළා.
මේ විදිහට සති ගණනාවක් කටයුතු කරගෙන ගියා.
එක දවසක් ලොකු වෙනසක් සිදු වී තිබුණා.
මා සිරගෙදරට ගියාම මගේ මිත්‍රයාට මේක මට කියාගන්න ඉවසුමක් නැතිව සිටියා.
ඔහු මේ කරදරකාර නිලධාරියාට හරි කදිම කෝපි කෝප්පයක් හදලා දුන්නා. පදමට කිරිත් සීනිත් දැම්මා. මේ නිලධාරියා විස්කෝතුවලට කැමැති බව ඔහු සොයාගෙන තිබුණු නිසා විස්කෝතුවලින් සංග්‍රහ කළා.
"මෙන්න ඔබට විශේෂයෙන්ම කිරි කෝපි-එකක් හැදුවා. ඔබ කැමැති විස්කෝතු ජාතියකුත් ගෙනාවා," සිරකරුවා කිව්වා.
"අර නිලධාරියා කිසිම වචනයක් කිව්වේ නැහැ. ඒ වුණත් 'ඕහ්' කියා උගුරෙන් සද්දයක් කළා. ඇත්තෙන්ම ඔහු ගෙරෙව්වා. ඒත් මේක ලොකු ජයග්‍රහණයක්" ඔහු කිව්වා.
මේ නිලධාරියාට පණ තියෙන බවත්, ඔහු හුස්ම ගන්නා බවත් මේ සිරකරුවාට මුලින්ම දැනුණ අවස්ථාව මේක තමයි. "ඒ ගෙරවිල්ල හොඳ ලකුණක්" ඔහු කිව්වා.
සති දෙක-තුනකට පසුව හොඳ රහට තේ කෝප්පයකුත් හදාගෙන, සැන්ඩ්ව්ච් වගේ කටගැස්මකුත් එක්ක අර නිලධාරියාට සංග්‍රහ කළාම, මේ බන්ධනාගාර නිලධාරියා, අනිත් අය 'බල්ලා' යැයි නමක් පටබැඳ තිබුණු එම නිලධාරියා, සිරකරුවා දෙසට හැරී 'ස්තුතියි' කියා කිව්වා. මේක ඇහුවම අනිත් සිරකරුවන් විතරක් නොව අනිත් නිලධාරිනුත් පුදුමයෙන් පුදුමයට පත් වුණා.
"අහවල් නිලධාරියා ජීවිතයේ මුල් සැරේට කෙනෙකුට 'ස්තුතියි' කියා කිව්වාය" යන ආරංචිය මුළු ප්‍රාන්තය පුරා සිරගෙවල්වල පැතිරී ගියා.
මම මගේ අභියෝගය දිනුවා.
කවදා හරි මම දිනන බව මම දැන සිටියා.
මේ සිද්ධියෙන් ඔබට පෙනෙන්නේ කුමක්ද? දරුණු බල්ලෙක් වුණත් හුරතල් බලු පැටියෙක් විදියට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා හුඟාක් කරුණාව අවශ්‍යයයි.


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+