බුදුවරුන්ගේ සිංහනාදය





ලෝක සත්වයා සසරේ සැරි සරා යන්නේ එක ම එක හේතුවක් නිසා ය. එනම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීම නිසා ය. ඉතාමත් ම කලාතුරකින් ලොවට පහළ වී වදාරණ බුදුවරුයන් වහන්සේලා විසින් පෙන්වා දෙනු ලබන්නේ ඒ චතුරාර්ය සත්‍යයයි.

අවිද්‍යාව යනුවෙන් හඳුන්වන්නේ ඒ චතුරාර්ය සත්‍යය නොදැනීමයි. අවබෝධ නොවීමයි. එනම්, දුක නම් වූ ආර්ය සත්‍යයක් තිබෙන බව නොදැනීමයි. ඒ දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තිබෙන බව නොදැනීමයි. දුකේ හටගැනීම නැති කොට දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යයක් තිබෙන බව නොදැනීමයි. දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ආර්ය සත්‍යයක් තිබෙන බව නොදැනීමයි. මේ අවිද්‍යාවට සම කළ හැකි අන්ධකාරයක් ලෝකයේ නැත. අවිද්‍යාව යනු එතරම් ම අන්ධකාරයකි. පෘථග්ජන සත්වයාගේ මුළු ජීවිතය ම වසා පැතිර තිබෙන්නේ අවිද්‍යාව ය. එනිසා ම ඔහුගේ ජීවිතය දුකින් නිදහස් වෙන්නට නම් පෘථග්ජන භාවයෙන් මිදී ආර්ය ශ්‍රාවක භාවයට පත් විය හැකිකේ දුර දක්නා නුවණැති බුද්ධිමත් කෙනෙකුට පමණි. එබඳු බුද්ධිමත් කෙනෙකුට චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබීමෙන් අවිද්‍යාව දුරු කොට විද්‍යාව පහළ කරගැනීමේ දුර්ලභ භාග්‍යය උදාකරගත හැකිය.

අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ලොවට හෙළිදරව් කොට වදාළේ ඇසළ පුන් පොහෝ දිනක ය. බරණැස ඉසිපතන මිගදායේදී උන්වහන්සේ විසින් ශ්‍රී සද්ධසෘ්මය ප්‍රථමයෙන් දේශනා කරන විට එය අසා සිටීමේ භාග්‍යය උදාකරගත්තේ පස්වග භික්ෂූන් වහන්සේලා ය. සියලු බුදුවරයන් වහන්සේලා තම දෙසුම් ආරම්භ කරන්නේ චතුරාර්ය සත්‍යය දේශනා කිරීමෙන් ය. ඉන්පසු විවිධ විචිත්‍ර ලෙස නොයෙක් උපමා, නොයෙක් කතන්දර මගින් පෙන්වා දෙන්නේ චතුරාර්ය සත්‍යය ගැන ම ය. චතුරාර්ය සත්‍යය ධර්ම විග්‍රහයට බුදුරජුන් විසින් ම වදාළේ 'ධම්මචක්ක' යන නාමයයි. 'ධම්මචක්කප්පවත්තන' නමින් තමන් වහන්සේගේ ප්‍රථම දේශනාව හඳුන්වන්නේ ඒ නිසා ය.

ප්‍රඥාවෙන් අග්‍ර වූ ශ්‍රාවකයාණන් වන සැරියුත් තෙරුන් වහන්සේ 'ධර්ම සේනාධිපති' වශයෙන් හඳුන්වන්නේ මෙම 'ධර්ම චක්‍රය' පතුරුවා හැරීමෙහිලා සැරියුත් තෙරුන් තුළ පැවති අද්විතීය අසාමාන්‍ය කුසලතාවය නිසා ය.

චතුරාර්ය සත්‍යාවබෝධය ඉලක්ක කරගත් පැවිදි ජීවිතය සකස් කරගත යුත්තේ කොයි ආකාරයෙන් දැයි බුදු සමිඳුන් විසින් පළමුව පෙන්වා වදාරණ ලදී. ඒ ගැන උන්වහන්සේ මෙසේ වදාළ සේක.

"පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු වූ මේ අන්ත දෙකකි. එනම්; (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පස් ආකාර වූ) කාමයන් පිළිබඳව කාම සුඛ විඳීමෙහි ඇලී ගැලී වාසය කිරීමක් වේද, මෙය හීන වූ දෙයකි. ළාමක වූ දෙයකි. පෘථග්ජනයන්ට අයත් දෙයකි. ආර්ය උතුමන් හට අයත් නැති දෙයකි. අයහපත පිණිස හේතු වන දෙයකි.

එමෙන් ම තමාව පීඩාවට පත් කරවන වෙහෙසට පත් කරවන යම් (ව්‍රත සමාදන් වීම්, දුෂ්කර ක්‍රියා කිරීම් ආදී) වැඩපිළිවෙලක් ඇද්ද, එය දුක් සහිත දෙයකි. ආර්ය උතුමන් හට අයත් නැති දෙයකි. අයහපත පිණිස හේතු වන දෙයකි.

පින්වත් මහණෙනි, මෙන්න මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ විසින් මධ්‍යා ප්‍රතිපදාව අවබෝධ කරන ලදී."

- ධම්මචක්කප්පවත්තන සූත්‍රය (ස.නි. 5)

මධ්‍යම ප්‍රතිපදාව යනු ඇලීමටත්, ගැටීමත් වැටෙන්නෙ නැතුව සිටීම යනු වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අදහසයි. සමහරුන් සිතාගෙන සිටින්නේ මධ්‍යස්ථ ආකල්පයකින් කල්ගත කිරීම මධ්‍යම ප්‍රතිපදාව බවයි. මෙය මහා විකාර කථාවකි.

සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගඵළ අවබෝධය ඇති කරවන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනි. ඒ මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දහම් ඇස ලබා දෙයි. නුවණ උදාකරයි. කෙලෙස් සංසිඳුවා දමයි. විශේෂ අවබෝධය ඇති කරවයි. චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවයි. අමා මහ නිවනට පත් කරවයි.

එසේ නම් ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයින් වශයෙන් පෙනී සිටින අප කවුරුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලිව තේරුම් ගත යුතුය. එසේ නැතිව විවිධ අර්ථකථන කරන්නට ගියොත් අතුරුදහන් වී යන්නේ ගෞතම බුදු සසුන ම ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මෙයයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.

සම්මා දිට්ඨි යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ තමන්ගේ අවබෝධයයි. එම අවබෝධය සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් ත්‍රිවිධ ය.

ශ්‍රාවකයාට පළමුව ඇතිවන්නේ සත්‍ය ඤාණයයි. එනම් දුක ආර්ය සත්‍යයක් බවත්, සමුදය ආර්ය සත්‍යයක් බවත්, නිරෝධය ආර්ය සත්‍යයක් බවත්, මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය සත්‍යයක් බවත් ය. මේ අවබෝධයට ශ්‍රාවකයා පැමිණෙන විට ඔහු තුළින් සංයෝජන තුනක් ප්‍රහීණ වෙයි. එනම් සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසයත් ය.

ඉන්පසුව ඔහු එක් එක් ආර්ය සත්‍යය වෙනුවෙන් කළ යුතු දේ හොඳින් හඳුනා ගනී. එනම් දුක අවබෝධ කළ යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. තණ්හාව නැති වීම නම් වූ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළයුතුයි. ඒ සඳහා යෝනිසෝ මනසිකාරයේ යෙදිය යුතු ම ය. කෘත්‍ය ඤාණය යනු මෙයයි. මෙය තුළ දියුණු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණත්වයට පත් වීමෙන් චතුරාර්ය සත්‍යාවබෝධය සම්පූර්ණත්වයට පත් වේ. එය කෘත ඤාණයයි.

ශ්‍රාවකයෙක් මේ සියල්ල හඳුනාගන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුලට එන්නේ මේ නිසා ය. සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයත් අයත් වන්නේ ප්‍රඥා කොටසට ය. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අයිති වන්නේ සීල කොටසටයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයිති වන්නේ සමාධි කොටසටයි.

බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ පිළිවෙල මැනැවින් හඳුනා නොගන්නා ඇතැමුන් කියන්නේ මෙහි තිබෙන්නේ ප්‍රඥා, සීල, සමාධි මිස සීල, සමාධි, ප්‍රඥා නොවන බවයි. බැලූ බැල්මට පෙනෙන්නේ එයයි.

නමුත් මාර්ගය වැඩෙන්නේ සීල, සමාධි, ප්‍රඥා තුළ බව දහම දන්නෝ දනිති. ඒ මෙසේ ය. සම්මා දිට්ඨිය තුළින් සත්‍ය ඤාණය ඇති කරගත් ශ්‍රාවකයා ඒ සම්මා දිට්ඨිය මුල් කර ගෙන අවබෝධයෙන් යුතුව ම සිල්වත් වෙයි. සතර සතිපට්ඨානයේ යෙදී වාසය කරයි. සමාහිත සිතක් ඇති කරගනී. ඔහු යළි යළිත් කෘත්‍ය ඤාණය පිණිස විදර්ශනා වඩයි. මෙසේ ඔහුට සීල, සමාධි, ප්‍රඥා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම වැඩීම නිසා අවබෝද කළ යුතු දුක අවබෝධ වෙයි. ප්‍රහාණය කළ යුතු සමුදය ප්‍රහාණය වෙයි. සාක්ෂාත් කළ යුතු නිරෝධය සාක්ෂාත් කරයි. වැඩිය යුතු ආර්ය මාර්ගය සම්පූර්ණ වෙයි. මෙසේ චතුරාර්ය සත්‍යය අවබෝධ වීම නිසා අවිද්‍යාව දුරු වී යයි. විද්‍යාව පහළ වෙයි. මෙතෙක් කලක් ඉපිද ඉපිද මැරෙමින් පැමිණි සංසාර ගමන් අවසන් වෙයි. අමා මහ නිවනට පත් වෙයි. අසිරිමත් ගුණ නුවණින් පිරිපුන් බුදුවරයන් වහන්සේලා ලෝකයට පෙන්වා දෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍යයයි. බුදුවරයන් වහන්සේලාගේ සිංහනාදය එයයි.

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+