දුරුතු පොහොය

පිනිබර දුරුත්තෙහි සැඳෑ අඳුර විනිවිද ගෙන පෙරදිග අහසින් පුන්සඳ උදාවෙන විට හෙළ දැයෙහි යටගියාව පිළිබඳ ඓතිහාසික ආගමික පුරාවෘත්තයක් අප ගේ මනැසට නැගී එයි. එය නම් මේ මනරම් දිවයිනට පළමු වරට ගොයුම් ගොත් දම්රදාණන් වහන්සේ ගේ වැඩම වීම සිදුවුණු දුරුතු පුනු පොහො දිනය ගැන යි. මෙයට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට පෙරැ දුරුතු පුනු පොහෝ දිනයෙක තථාගතයන් වහන්සේ ගේ ප්‍රථම ලංකා ගමන සිදු විය. ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අබිසෙස් ලබා නව මසකින් තිලෝගුරු බුදු සමිඳාණන් වහන්සේ දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වූ උරුවෙල් කසුප් - නදී කසුප් - ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් සවුවන් සියදහම් මඟට හරවා ඔවුන් හැම අරී සහ ගණ බවට පත්කොට ඉක්බිති ව එයින් අතුරුදහන් ව හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඬලක් සේ සවනක් ගන බුදු රැස් මාලාවන් ගෙන් දිලිහි දිලිහී වැඩහුන් සේක.
මහානාග වන නමින් හැඳින්වෙන උයන් බිමට රැස් වූ යක් නා කුල සෙබළෝ සිය පරවේණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත් කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදු ව මහා සටනකට එළඹිය හ. එහෙත් සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුලුණුබර දම්රදාණෝ මිහිරි නදින් දහම් දෙසා ඔවුන් ගේ තෙදබල බිඳලූහ. මේ අනගි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රදාණෝ දහම්රස වළඳා සෝවාන්ව අරිසව්වකු බවට පත්වූහ. එදවස ම බුදුහිමිපාණෝ සුමන සමන් දෙව් රදුන් ගේ අයැදුම් පරිදි සුරතින් සිය සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමුඟෙකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිට දහම් අමාවැසි වැස් වූ බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේශධාතු නිදන් කොට පුද පෙරහර දැක්වූහ.
ජාතික සංකේතය
මේ මියුගුණු මහසෑය සම්බුදු රදුන් බුදු වූ පළමුවැනි වස ම බඳින ලදී. දෙවියකු විසින් බඳින ලද මුල් සෑය මෙය යි. එය අද මුළු ලෝකයේ ම තිබෙන ඉපැරණි මහා සටනක පුරාවෘත්තයක් මතකයට නංවන තථාගතයන් වහන්සේ ගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණසමුදාය සිහිකරන ජාතික සංකේතයෙකි. එසේ ම පන්සාලිස් වසක් ගෙවී පිරිනිවුණු සම්බුදු හිමියන් ගේ බුදු සිරුර දැවෙන දර සෑයෙන් දම්සෙනෙවි සැරියුත් මහරහත් මාහිමියන් ගේ අත වැසි සරභු රහත් හිමියෝ ගී‍්‍රවාධාතුව නිදන් කොට හිමවතින් ගෙනෙන ලද මේදෝ වර්ණපාෂාණයෙන් දොළොස් රියනක් උසැති සෑයක් කොට බන්දා ලූහ. රහත් හිමි නමක ගේ මෙහෙය වීමෙන් බඳින ලද මුල් දාගැබ වශයෙන් ද මේ මියගුණු සෑය සැලකිය හැකි ය.
ඉන්පසු දෙවන පෑතිස් නිරිඳුන් ගේ මලණු උද්ධචුලාභය කුමරුන් විසින් ඒ මියඟුණු සෑය තිස් රියන් උසැති දාගැබක් කොට බඳවන ලදී. එයින් සියක් වසක් ඇතුළත හෙළදිව එකසේසත් කළ හෙළ මහා නරවිරුවාණන් වූ ගැමුණු අබා නිරිඳුන් විසින් අසූ රියනක් තුඟු කොට බඳවන ලදී. මියඟුණු සෑය හෙළදිව පහළවුණු පළමුවැනි සෑය යි. සිංහල ජාතියේ අතීත ප්‍රෞඪත්වය ලොව හමුවේ කියාපාන රාජ පූජිත මහාර්ඝ වූ ජාතික දායාදයෙකි. එය සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා පෞරාණික වූවෙකි. ලංකා සම්බුද්ධ ශාසනයට වඩා පැරැණි අඛණ්ඩ වූ ඉතිහාසයක් ඇති ශාරීරික හා පාරිභෝගික වශයෙන් පිවිතුරු බවට පත් චෛත්‍යයෙකි.
අන්ධකාරයේ නිමග්න ව සිටි ජාතියකට ආලෝකය ලබා දෙනු පිණිස මිලේච්ඡත්වයේ විසූ ජාතියක් ශිෂ්ටත්වයට පත් කරවනු පිණිස වැඩම කර වදාළ ශාන්ති නායකයාණන් වහන්සේ ගේ උදාරතර ඓතිහාසික ප්‍රථම ලංකා ගමන සිහිපත් කරවන මහියංගණ චෛත්‍ය රාජයා වූ කලී අදත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ අභිවාදන පූර්වක ගෞරවයට පාත්‍ර වෙමින් සජෝතිමත් ව ඇත. ජාතියේ වංශ කථාවට මූලාරම්භය වැටුණු, ජාතියේ ප්‍රෞඪත්වයට හා දේශයේ උදාරත්වයට ස්වර්ණමය මාර්ගය උදාවුණු බුදු සිරිපා පහස ලබා පුණ්‍ය ක්ෂේත්‍රයක් බවට මේ හෙළ බිම පළමු වරට පත්වුණු දුරුතු පුනු පොහෝ දිනය සිංහල බෞද්ධයා ගේ ආගමික හා ඓතිහාසික දිනයෙකි.
මේ මහා සෑය හා රෝපිත බෝධිද්‍රැමය සිරි සඟබෝ වැනි බෝසත් රජවරුන් ගේ දිවි තිර කළ ජාතික වස්තුවෙකි. මේ ස්ථානයෙහි පිහිටි බෝධිද්‍රැමය සමීපයෙහි දී සිරි සඟබෝ කුමාරයා සිය මයිල් නන්ද හිමියන් ඇතුළු මහා සඟනට පිදූ බව ඉතිහාසයෙන් හෙළිවෙයි. අද දක්වා ම ඒ බෝධිද්‍රැමය මාවැලි ගඟින් හමා එන සිසිල් මඳ පවනින් නැහැවී නැහැවී නිරුපද්‍රිත ව වැඩ වෙසේ. එම චෛත්‍ය රාජයාගේ ආරක්ෂා සංවිධාන පිණිස සුමන සමන් දෙවියන් ගේ දේවාලයක් ඉදි කොට වර්ෂයක් පාසා පෙරහර, උත්සවාදිය පවත්වනු ලැබේ.
බුදු සිරිපා පහසින් පළමුවරට මේ පියකරු දිවයින ශුද්ධ භූමියක් බවට පත් කළ ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය වන දුරුතු පුන් පොහෝදා සිංහාවලෝකනයක් කිරීමට එනම්, ආපසු හැරී තමන්ගේ රටේ අතීත ඉතිහාසය දෙස විමසුම් නුවණින් පිරික්සා බැලීමට සුදුසු හොඳ ම දිනය යි. උපබුදු මිහිඳු මහරහත් මා හිමියනට සදහම් නැමැති බීජයන් රෝපණය කිරීමට ලංකා නැමැති ක්ෂේත්‍රය සකස් කිරීමට වැඩම කළ ප්‍රථම දිනය වූ දුරුතු පෝයදා ඒ ශ්‍රේෂ්ඨ ධර්ම දායාදය කරණකොට ගෙන ජාතියත් ජනතාවත් ලැබූ ශාන්තිය බුදු පුබුදුවෙන් පිබිදුණු බැතිමතකු ලෙස හැම දෙනා ම මහත් හරසරින් සිහිපත් කළ යුතුය. ජම්බුද්වීපයේ ගංඟා නිම්නයේ පහළ වූ ඒ උත්තරීතර ධර්මයේ ආශීර්වාදය මේ රටට නො ලැබුණා නම් තවමත් සිංහලයා අඳුරේ ම ය.
අවුරුදු දෙදහස් පන්සිය ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනය රැකගත් ජාතියක් වශයෙන් මහත් ගර්වයෙන් ජාතියේ ප්‍රෞඪ අතීතය දෙස බලා පී‍්‍රති වන්නටත් වර්තමානය දෙස බලා සංවේග වන්නටත් අනාගතය දෙස බලා නො සෙල්වෙන අධිෂ්ඨානයක් ඇති කර ගන්නටත් පුළුවන් මාහැඟි දිනය දුරුතු පෝයදා යි. සමස්ත ලෝකයට ම විමුක්තිය හා සාමය ගෙන දීමට සමත් සම්බුද්ධ ධර්මය මේ රටේ පැරණි ආගමාලයෙන් යුත් ජාති හිතෛෂි සිංහලයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත ව රැකගත් අයුරු ඔබ ගේ මනසට නංවන්නේ බුද්ධාගමය රැක ගැනීමේ අද්භූත ඉතිහාසය යි. එදා සිංහල මවුවරුන් බුදුගුණ ගීතයෙන් නළවා ආගමික රසයෙන් රසකවා බෝසත් ගතිගුණ වලින් යුක්ත කොට තැනූ දරුවන් ජාතියේ මුරදේවතාවන් හා ආගමේ ආරක්ෂකයන් බවට පත්ව කලින් කල පරිහානි ප්‍රපාතයට වැටුණු සිංහල ජාතියත් බුද්ධාගමත් රැක ගත් හැටි සිහිපත් කළ යුතු ය. අද අඳුරේ වැටී ඇති අපේ ජාතියට එළිය දෙන්නට පිරිහී ඇති බෞද්ධ ප්‍රතිපත්තීන් නගා සිටුවන්නට අපරාධ ගිනි නිවා ධර්මද්වීපය යන නාමය නැවැතත් අන්වර්ථ කරන්නට, කෙලෙස් බරින් වෙළී සිටින මනුෂ්‍ය වර්ගයාට ශාන්ත ධර්මයේ ආලෝකයෙන් එළිය ලබාදෙන්න මුල් පියවර වශයෙන් මේ නව වසරේ බුදුසිරි පා පහසින් පිවිතුරු බවට පත් අනුස්මරණීය අත්‍යුත්තම දිනය වන දුරුතු පුනු පොහෝදා ඒ පිළිබඳ යහපත් හැඟීම් වැඩි වැඩියෙන් උපදවා ගත යුතු ය.
බුදුන් වහන්සේ ගේ ධර්මයට අවුරුදු දහස් ගණනක් ගත වුවත් එය අකාලික ව නොවෙනස් ව පවතින්නේ මේ රටේ යි. ඒ ථෙරවාද බුද්ධ ධර්මයේ ධර්ම භාණ්ඩාගාරය ලංකාව වීම කොතරම් භාග්‍ය සම්පන්න ද? මුළු ලෝකයේ ම ජනයා අපට ගෞරව කරන්නේ අප රටට ආදරය කරන්නේ අනිත් කිසිදු දෙයක් නිසා නොවැ නිර්මල බුද්ධ ධර්මය නිසා ය. මේ ශ්‍රේෂ්ඨ දිවයිනේ බුදු රජාණන් වහන්සේ ගේ අකුධාතු - කේශධාතු - ගී‍්‍රවාධාතු - ලලාටධාතු - ඌර්ණරෝමධාතු - දන්තධාතු ආදී ශාරීරික ධාතුන් ගෙන් වැඩි කොටසක් ඇත. එසේ ම උන්වහන්සේ ගේ පාරිභෝගික චෛත්‍යයක් වන ජය ශ්‍රී බෝධිරාජයාත් පරිභෝග කළ පාත්‍රයත් මේ රටේ සුරක්ෂිත ව පවත්නේ ය. ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරූඪ කරන ලද්දේත් මේ සිංහල රටේ දීය. දුරුතු පුන් පොහෝදා මේ හැම කරුණු ඔබ ගේ මනසට නගාගත යුතු ය.
ලංකාය යක්ඛ ගණනි භරණෙ ජිනස්ස
චම්මාසනුග්ගත හුතාසන ඵස්ස දාහා
සංසාර රක්ඛස වපුඛභව බූබ්බුලංව
යස්මිං විභාති මහියංගණ ථූප රාජා
මාපලගම සෝමිස්සර හිමි

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+