යෝනිසෝ මනසිකාරය ඇති කරගත යුත්තේ ඇයි




තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපට දේශනා කළේ දුකින් නිදහස් වන වැඩ පිළිවෙලක්. මේ වැඩ පිළිවෙල අනුගමනය කිරීම තුළින් සසරින් එතෙර වීමට පුළුවන් බව උන්වහන්සේ වදාළා. ඔබ සසරට බිය නම්, සසරින් නිදහස් වීමට කැමැති නම් ඒ සඳහා උනන්දුවක් ඇතිකරවා දීමට සෝතාපත්ති අංග අප මෙසේ සාකච්ඡා කළා. එහි තුන්වැනි අංගය වන්නේ යෝනිසෝ මනසිකාරය යි.

● ස්වාමින්වහන්ස, යෝනිසෝ මනසිකාරය යන වචනය පහදා දෙන්න?

සෝවාන්වීමට කැමැති අයෙක් තුළ තිබිය යුතු තුන්වැනි ගුණාංගය වන්නේ යෝනිසෝමනසිකාරය යි. මෙහි සරල තේරුම වන්නේ නුවණින් කල්පනා කිරීමයි. නුවණින් විමසීමයි. අපි දෙයක් නුවණින් විමසා බලන්න ඕන ඇයි?

සතිපට්ඨාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මිනිසුන්ගේ චිත්ත ස්වභාව දෙකක් තියෙනවා. ඒ තමයි ලෝකය ලෙස මිනිසුන් දකින දේ හා ඒ සම්බන්ධව මිනිසුන් ඇතිකර ගන්නා මානසික තත්ත්වය. ඒ තමයි ඇලීම හා ගැටීම. ලෝකය හා මිනිසුන් දකින්නේ හඳුනාගෙන තිබෙන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් අප ලෝකය කියන්නේ පෘතුවියටයි. නමුත් ධර්මානුකූ®ල ලෝකය කියන්නේ ඇසට පෙනෙන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ වගේම මනසට සිතෙන දේ. තවත් විදිහකට කියනවානම් පංචකාම සම්පත් කියන ලෝකය හමුවේ පෘතග්ජන මනුස්සයා කරන වැඩ දෙකක් තියෙනවා. එකක් ඇලෙනවා. අනෙක ගැටෙනවා. එහෙම ඇලීම ගැටීම ඇතිවන්නේ මෝහය නිසා. මුලාව නිසා. මේ දෙකෙන් ලෝකය මිදෙන්න නම් ලෝකයේ පැවැත්ම නැතිකර ගන්න නම් සසර දුකෙන් මිදෙන්න නම් කුමක්ද කළ යුත්තේ? මේ ඇලෙන ගැටෙන ස්වභාවය නැතිකර ගන්න ඕන.

සතිපට්ඨාන සූත්‍රයේ සදහන් කරල තිබෙන පරිදි ලෝකයේ තිබෙන ඇලීම ගැටීම නැතිකර ගත යුතුයි. ඒ සඳහා කළ යුත්තේ ලෝකය යනුවෙන් හඳුන්වන කාරණා සම්බන්ධව නුවණින් සිතීමයි. නුවණින් හිතනකොට යෝනිසෝමනසිකාරය තුළ ක්‍රියාත්මක වන කරණා තුනක් තිබෙනවා. ඒ ලක්ෂණ තුනට කියන්නේ ආතාපි, සම්පජානු, සතිමා කියලා. සාමාන්‍යයෙන් භාෂාවේ රිත්මය රැක ගැනීම සඳහා ඒ වචන මේ ආකාරයේ අනු පිළිවෙලට පෙළ ගැස්සුවාට ක්‍රියාත්මක කරනකොට කරන්නේ සතිමා, සම්පජානු, ආතාපි කියලා. සතිමා කියන්නේ සිහියෙන් බලනවා. උදාහරණයක් වශයෙන් රූපයක් දෙස අප බලනවා. එය සිහියෙන් කළයුතුයි. අවසිහියෙන් බලනකොට තමයි එක එක දේවල පැටලෙන්නේ. සිහියෙන් බලනවා කියන්නේ මම දැන් රූපයක් දෙස බලනවා කියලා නුවණින් සිතීමයි. තේරුම් ගැනීමයි. ගඳ සුවඳ දැන ගැනීමේදීත් ශබ්දයක් ඇසීමේ දී මේ සියලු කරුණුවලදී සිහිය පුරුදු කළ යුතුයි. සිහියෙන් බලනවා කියන්නේ පුද්ගලයා වර්තමානයේ ජීවත්වීමට හුරු කිරීමයි. වර්තමානයේ ජීවත්වීම තුළින් ඔහු නිතරම කරන ක්‍රියාව දැනුවත් වෙලා කරන්නේ. ගොඩක් අය වර්තමානයේ ජීවත්වෙලා වැඩ කරනවා. නමුත් අතීත සංස්කාරයේ සිත තියෙන්නේ. එක එක ඒවා සිත සිත තමයි වැඩ කරන්නේ. අප දැන් ටී.වී. එක දිහා බලාගෙන කනවා. එතකොට කණ එක තැනක. සිත තව තැනක. ඒ නිසා සිහියෙන් යම් වැඩක් කරනවා නම් ඒ මොහොතේ කරන ක්‍රියාව ගැන දැනුවත් වෙනවා. නමුත් එහෙම දැනුවත්ව කරන හැම දෙයක්ම කුසල් නොවේ. අනුභව කරනවා කියලා දැනගෙනම අනුභව කරන එකම කුසලයක් නොවේ. හැම ක්‍රියාවක් තුළම කුසල් හා අකුසල් දෙකම ඇතිවෙන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම තමයි සම්පජාන කියන්නේ. ආහාර කනවානම් ඒ කෑම තුළ රස සංඥාව, ද්වේෂය, මාන්නය ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවන ක්ලේශයන් ගැන දැනුවත් වෙන්න ඕන. එතකොට තමයි අපිට ඒවා පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ දැනුවත්වීම තමයි සම්පජානු කියන්නේ. ඒ දැනුවත් වීම තුළින් අප දන්නවා අපි කරන මේක කුසලයක්. මේක අකුසලයක් කියලා. අකුසලයක් ඉස්මතුවෙලා ආවොත් එයා කෙලෙස් තවන වීර්යෙන් එය මැඩ පවත්වන්නට උත්සාහ කරනවා. ඒක ආතාපි. කුසලයක් ආවානම් එය වැඩිදියුණු කර ගන්නවා. ඒක කරන්නේ මේ මොහොතේ. අතීතයේ දී හෝ වර්තමානයේ දී නොවේ. ඒ විදිහට එදිනෙදා කරන සෑම ක්‍රියාවක් තුළින්ම නුවණින් බලමින් විමසමින් කෙලෙස් ඇතිවෙන්න නොදී කටයුතු කිරීමට තමා යෝනිසෝ මනසිකාරය කියන්නේ.

එහෙම විමසල බලනකොට ක්‍රියාත්මක වෙනකොට ඕනෑම කෙනෙකුට තේරෙන පොදු ලක්ෂණයක් තමයි මෙතැන තිබෙන්නේ. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණයි. අපට රූපයක් පෙනුනාම දැනගන්නවා මෙතෙන රූපයක් තියෙනවා. චක්ඛු විඤ්ඤාණය තුළින් ඒක දැනගත්තා කියලා ඒ ක්‍රියාවලිය තේරුම් ගන්නවා. එතකොට ධර්මය ගැන දැනුවත් වෙලා ඉන්න පුද්ගලයා මේ ක්‍රියාවලිය හඳුනාගෙන තේරුම් ගන්නවා. මෙතැන මේ ක්‍රියාව කරන සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියලා. එහෙනම් මම කියලා මගේ කියලා මට ඕන ආකාරයට මෙතැන පාලනය කරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. සක්කාය දිට්ඨිය නැතිවීමට මේ යෝනිසෝ මනසිකාරය මහත් සේ උපකාරි වෙනවා. සක්කාය දිට්ඨිය නැතිවීම තමා නිවන් මගට පිවිසෙන්නට තිබෙන ප්‍රධාන දොරටුව. ඒක කඩන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. ඔහු තේරුම් ගන්නවා මෙතැන තිබෙන්නේ ඉන්ද්‍රිය ධර්මවල ක්‍රියාකාරීත්වය පමණයි කියා. එහෙම වැටහෙන්නට යෝනිසෝ මනසිකාරය බෙහෙවින් උපකාර වෙනවා. අප මේ සියලුම දේ ගැන යෝනිසෝ මනසිකාරයෙන් බලන්නට නම් සද්ධර්ම ශ්‍රවණයත් දහම් දැනුමත් තියෙන්න ඕන. නැත්නම් ඒක තේරෙන්නේ නැහැ.

ඉහත කී ආතාපි, සතිමා, සම්මජානු කියන ලක්ෂණ තුන යෝනිසෝ මනසිකාරය තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. නිවන් මගට අරමුණු කරල නුවණින් විමසීම ඒ ආකාරයටයි සිදුවිය යුත්තේ. මමත්වයෙන් තොරව ඉන්ද්‍රියයන් ක්‍රියාකාරීත්වය දෙස බැලීම තමයි මෙතැනදී යෝනිසෝ මනසිකාරය වන්නේ.

● ලෞකික ජීවිතයේදීත් අපට මේ යෝනිසෝ මනසිකාරය උපකාරි වෙනවා නේද?

ඔව්. ලෞකික ජීවිතයේදීත් අපට යෝනිසෝ මනසිකාරය උපකාරි කර ගන්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේදී අප කරන කියන වැඩකටයුතු හොඳට විමසලා බලලා කරනවානම් නරක දෙයින් වළකින්නට අපට ඕන තරම් ඉඩ තියෙනවා. අප කතා කරනකොට යෝනිසෝ මනසිකාරය නැහැ. මේ කතා කරන දේ හොඳයිද? මේක ගැලපෙනවාද? අනෙක් අයගේ සිත මගේ වචනය නිසා රිදෙයිද? එහෙම හිතන්නේ් නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය නැති නිසයි. ඒ නිසා සමාජයෙන් නින්දා අපහාස විඳිනවා. විවිධ ක්‍රියාකාරකම් කරන්න ගිහින් පිරිහෙනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්නට අපට යෝනිසෝ මනසිකාරය ලෞකික ජීවිතයේදීත් බොහෝ උපකාරි වෙනවා.

● යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ හැක්කේ බෞද්ධයන්ට පමණද?

යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් බෞද්ධයකුට පමණක් නොවේ. අප දන්නවා සෝතාපත්ති ඵලයට පත්වන්නේ ධර්මය ශ්‍රවණය කරලානේ. එතකොට ධර්මය ශ්‍රවණය කරලා වටහා ගත්තට පස්සේ තමයි සමහර පිරිස් බුදුන් සරණ යන්නේ. ධර්මය වටහා ගැනීමයි, බුදුහාමුදුරුවෝ සරණ යාමයි එකට බැඳිලයි තියෙන්නේ. ඔහු ධර්මය වටහා ගත් පමණින් සිතනවා අනේ මේ වගේ ධර්මයක්නේ තථාගතයන් වහන්සේ දේශනා කර තියෙන්නේ කියලා. ඒ අනුව බැලුවොත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මඟ පෙන්නීමක් අවශ්‍යයි. නමුත් ආත්ම දෘෂ්ඨියෙන් තොරව ලොව දෙස බලන්න පුළුවන්කම තිබෙන්නේ මේ බෞද්ධ ධර්මයේ පමණයි. ඒකයි තථාගතයන් වහන්සේ වදාළේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ආදි මාර්ගඵලලාභීන් බිහිවන්නේ මේ ශාසනයේ පමණයි කියලා.

නමුත් ලෞකික අර්ථයෙන් ගත්තොත් නුවණින් විමසා කල්පනා කර බලනවා කියන්නේ ඕනෑම ආගමික කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එයා කවදා හෝ ආත්ම දෘෂ්ඨියෙන් තොරව සත්‍යය අවබෝධ කර ගන්නවාත් සමගම ඔහු බුදුදහම වැළඳගත් ධර්මය විශ්වාස කරනා පුද්ගලයෙක් බවට නිරායාසයෙන්ම පත්වෙනවා.

මේ ධර්මයෙන් බැහැරව ඉන්න අයට මෙහි ඇති සත්‍ය වටහා ගන්නට අමාරුයි. ඒ නිසා අහන ධර්මය උපයෝගි කරගෙන ලෝකය හමුවේ කටයුතු කරන ආකාරය තමයි යෝනිසෝ මනසිකාරයෙන් විස්තර කරන්නේ. ඒක සෝවාන් වීමට අනිවාර්යයෙන්ම උපකාරි වෙනවා.

තෙරුවන් සරණයි!

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+