සිදුහත් කුමරුගේ යොවුන් වියේ තොරතුරු හෙළිවෙයි



 
නේපාලයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති සුද්ධෝදන මහ රජුගේ අතීත පාලන පුරවරය වූ කපිලවස්තු පුරයේ සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණයකින් සිදුහත් කුමරුගේ තරුණ වියේ සමාජ රටාව සහ එවකට පැවැති නගර සැලැසුම් හමුවෙමින් පවතින බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 'මව්බිම'ට පැවැසීය.

ඒ අනුව කපිලවස්තු පුරවරයෙහි අඛණ්ඩව සිදු කරන ලද කැණීමකදී සිදුහත් කුමරු රැඳී සිටි මාලිගාවේ ප්‍රාකාර බැම්ම සොයා ගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා කීවේය. එය සිදුහත් කුමරුගේ තරුණ වියේ කාල වකවානුව වන ක්‍රි. පූ. 6 වැනි සියවසට අයත් වන බවට සාධක හමුවී ඇති බවද ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවැසීය. දැව කණු බස්සන ලද පැරැණි වළවල් 8ක් පමණ සොයා ගැනීමට හැකි වූ බවද හෙතෙම කීය. බුද්ධකාලීනව දැව මාධ්‍යයේ ප්‍රාකාර බැමි බහුල වශයෙන් පැවැති බවට සාධක පවතින බැවින් එය තවදුරටත් තහවුරු වන බව මහාචාර්යවරයා සඳහන් කෙළේය.

ප්‍රාකාර බැම්ම මීටර් 2ක් පමණ කැණීම් කිරීමේදී මතු වූ බවත් ප්‍රාකාර බැම්ම අසල සිදු කරන ලද කැණීම්වලදී ඔප දමන ලද වළං කැබැලි රාශියක්ද මතුකර ගැනීමට හැකි වූ බවද ප්‍රිශාන්ත මහතා පැවැසීය. රතු - කළු ආදී වර්ණ ගැන්වූ මැටි බඳුන්වල කැබැලි සහ බඳුන් රාශියක් හමුවූ බවද එම බඳුන් ආසියාවේ භාවිත කර ඇත්තේ ක්‍රි. ව. 6 සහ 7 වැනි සියවස්වල බැවින් එය සිදුහත් කුමරුගේ තරුණ කල සමාජ වටපිටාව බව හොඳින් පැහැදිලි වන බවත් ඔහු පැවැසීය.

සුද්ධෝදන රජු පාලනය කරන ලද කපිලවස්තු පුරවරයේ කිලෝ මීටර් 2ක භූමි ප්‍රමාණයේ සිදුකරන ලද ගවේෂණයේදී උතුර - දකුණ - බටහිර සහ නැඟෙනහිර ප්‍රදේශ දෙසට දිවෙන බුද්ධකාලීන අතීත මාර්ග පද්ධතිය සොයා ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවැසීය. එම මාවත් දෙපස ඉපැරැණි ගෘහ නිර්මාණ ක්‍ෂය වෙමින් ගිය නටබුන්ද හමුවූ බව මහාචාර්යවරයා පැවැසීය. දැනට හමුවෙමින් පවතින සාධක ඔස්සේ සිදුහත් කුමරාගේ තරුණ කාලයට අයත් සිදුවීම් සහ ඉතිහාසය සොයා යමින් සිටින බවද හෙතෙම කීය. දැනට හමු වී ඇති කපිලවස්තුපුර අතීත මාර්ග පද්ධතියේ නැඟෙනහිර ‍ෙදාරටුවෙන් සිදුහත් කුමරුගේ අභිනික්මන සිදුවූ බවට පිළිගත හැකි සාධක පවතින බවද ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

සිදුහත් කුමරු නැඟෙනහිර ‍ෙදාරටුවෙන් අභිනික්මන් කළ අවස්ථාවේ සිදුහත් කුමරු නැවැත නොපැමිණීම දැනගත් කන්ථක අසු ළය පැළී නැඟෙනහිර ‍ෙදාරටුව අසල මියැදුණු බවත් නැඟෙනහිර ‍ෙදාරටුවට මීටර් 100ක් පමණ දුරින් කන්ථක අසු සිහි වීමට ස්තූපයක් ඉදිකළ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිය ගවේෂණයේදී හෙළි කරගත් මාර්ග පද්ධතියේ එම ස්තූපයට මීටර් 100ක් පමණ දුරින් සොයා ගත් මාර්ගය නැඟෙනහිර ‍ෙදාරටුවට අයත් මාවත බව තහවුරු කරගත් බවත් කපිලවස්තු නගර සැලසුම් හරහා සිදුහත් කුමරුගේ තරුණ සමයට අදාළ සැඟවුණු තොරතුරු සොයා යන බවත් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවැසුවේය.

මේ පුරාවිද්‍යා ගවේෂණය සඳහා ලුම්බිණියේ කාල නිර්ණය කළ බි්‍රතාන්‍යයේ ඩරම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කනිත්, මහාචාර්ය ඊයම් ස්විම්සම් මහත්වරුන්ද, නේපාල පුරාවිද්‍යා ප්‍රදාඩ් ආචාර සහ බසන්ත බිදාරි යන පුරාවිද්‍යාඥයන්ද ලංකාව නියෝජනය කරමින් තමාද සහභාගි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+