ධර්මය මිස හිත විශ්වාස කරන්න එපා ....



 
​බුදුරාජාණන් වහන්සේ මේ සමාහිත සිත් ඇති කර ගන්න කිව්වේ පංච උපාදාන ස්කන්ධයේ හටගැනීමත් නැතිවීමත් අවබෝධ කිරීමටයි. අපි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදාන ස්කන්ධ ඉගෙන ගෙන තියෙනවා. නමුත් (අභිනන්දති) ඒවා සතුටින් පිළි ගන්නවා. (අභිවදති) ගුණ කියනවා. (අජ්ඣෝසාය තිට්ඨති) බැසගන්නවා. ඒ මොනවද පිළිගන්නේ? පංච උපාදාන ස්කන්ධය. මොනවාගේද ගුණ කියන්නේ? පංච උපාදාන ස්කන්ධයේ. මොකකද බැසගන්නේ? ඒත් පංච උපාදාන ස්කන්ධයේමයි.
පංච උපාදාන ස්කන්ධය කියන්නෙ මොකක්ද? දුක. එහෙම නම් එයා සතුටින් පිළිගත්තෙ මොකක්ද? දුක. ගුණ වර්ණනා කළේ මොකේද? දුකේ. බැස ගත්තෙ මොකකද? දුකේ. බැසගත්තට පස්සේ ආශාව ඉපදුණා. ආශාව ඉපදුණේ මොකේටද? දුකට. ඊට පස්සෙ මොකද වුණේ? බැඳුණා. බැඳුණේ මොකේටද? දුකට. ඊට පස්සේ උපතක් කරා යන්නෙ කොහේද? දුක කරා.
බුදුරජාණන් වහන්සේ වදාළා මෙයා පංච උපාදාන ස්කන්ධයේ ඇත්ත තත්වය අවබෝධ කළාම පංච උපාදාන ස්කන්ධය පිළිගන්නෙ නෑ. එතකොට මොකක්ද එයා පිළිගන්නෙ නැත්තෙ? දුකයි පිළිගන්නෙ නැත්තේ. එයා දුක වර්ණනා කරන්නේ නෑ. එතකොට එයාගේ හිත පංච උපාදාන ස්කන්ධයේ බැසගන්නෙ නෑ. ඒ කියන්නෙ දුකේ හිත බැසගන්නෙ නෑ. පංච උපාදාන ස්කන්ධයේ බැසගන්නේ නැති නිසා කුමක් කෙරෙහි තිබුණු ආශාවද නිරුද්ධ වෙන්නේ? දුක කෙරෙහි තිබුණ ආශාවයි නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙච්ච ගමන් ඒ බන්ධනය නිරුද්ධ වෙනවා. එහෙම නම් දුකට බැඳෙන්නෙ නෑ. එයා දුකට බැඳෙන්නෙ නැත්නම්, දුක කරා යන්නෙත් නෑ. එයා දුකෙන් නිදහස් වෙනවා. ඒක තමයි ආර්ය විමුක්තිය.
දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල්. ඉස්සරවෙලාම එයා මොකක්ද කරන්න ඕන? සීල සංවරයට පැමිණෙනවා. පැමිණිලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, හැම ඉරියව්වකම සිහිය පවත්වාගෙන සමාධිය දියුණු කරනවා. එතකොට ඒක චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරපු එකක්. ආර්ය සමාධිය, සම්මා දිට්ඨිය තියෙන කෙනාට පුළුවන් මේක බොහොම ලස්සනට නිරවුල් කර ගන්න.
ඊට පස්සෙ එයා කරන්නේ මේ ආර්ය සමාධිය තුළ තවදුරටත් දියුණු කරන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකමයි. ඒක නේද මේ කතා කළේ? ප‍්‍රඥාව හැටියට පංච උපාදානස්කන්ධ දුක ගැනයි මේ අපි කතා කළේ. එහෙනම් එයා අවබෝධ කරගන්න ඕන මෙහෙමයි. මේ දුක ආර්ය සත්‍යයක්. මේ තණ්හාව ආර්ය සත්‍යයක්, මේකෙන් තමයි ඉස්සරහට තල්ලූ කර කර ගෙනියන්නේ. තණ්හාව නැත්නම් දුකෙන් නිදහස් වෙනවා. ඒ තණ්හාව නැතිවීම ආර්ය සත්‍යයක්. මේකෙන් නිදහස් වීම සඳහා මේක තමයි තිබෙන වැඩපිළිවෙල තමයි ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥාව ඇතිකර ගැනීම. ඒ ප‍්‍රතිපදාවත් ආර්ය සත්‍යයක්.
දැන් මේ විදිහට පංච උපාදාන ස්කන්ධයේ ඇති වීමත්, නැතිවීමත් අවබෝධ කරන කොට එයා තුළ ගොඩනැගෙන ප‍්‍රඥාව ආර්ය ප‍්‍රඥාවයි. පංච උපාදානස්කන්ධයේ නැතිවීම සාක්ෂාත් කරන කොට එයා තණ්හාවෙන් නිදහස් වෙනවා. ඒක තමයි ආර්ය විමුක්තිය. එතකොට එයා දුකෙන් නිදහස් වෙනවා. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥා, ආර්ය විමුක්ති කියන මේ කරුණු ටික අපි හොඳට බුද්ධියෙන්, කල්පනාවෙන්, කැපවීමෙන්, වීරියෙන් දියුණු කරනවා නම් මේ කරා යන්නට අපට බැරි වෙන්නෙ නෑ.
හැබැයි අපි මේ ඉලක්කයට යාම පිණිස දශමයෙන් දශමය හරි සකස් වෙන්න ඕන. දවසක් පුතෙක් ඇවිල්ල කිව්වා මම මේ ධර්ම මාර්ගයට පැමිණෙනවා. මට හිත විශ්වාසයි. මං කිව්වා 'පුතා නරක දේ නේ විශ්වාස කළේ. මේ හිත විතරක් විශ්වාස කරන්න එපා' කියලා. මේ හොඳට තියෙන හිත නොමග යන තැන තමන්වත් දන්නෙ නෑ. හිත නෙමෙයි විශ්වාස කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය විශ්වාස කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සම්පූර්ණ කරන්න ඕන.
මං උපමාවක් කිව්වා. කෙනෙකුට ඕන මුහුදට යන්න. එයාට වෙන පාරක් නෑ. හැබැයි ගංගාවක් තියෙනවා. ඒක තියෙන්නෙ කෙලින්ම මුහුද කරා යන්න. එතකොට එයා ගඟට පනින්න ඕන. එතකොට කෙලින් ම මුහුදේ. ඒකට හේතුව මොකක්ද? ගඟ යන්නේ මුහුදට. මේ වගේ කෙනෙකුට ඕන විමුක්තිය නම්, ඒ විමුක්තිය ඕන කෙනා කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් එයාව නිවන කරා එක්කන් යනවා. මේක තමයි මේ ධර්මයේ බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු දේ.
බුදුරජාණන් වහන්සේ මේ බව ඉතාම පැහැදිලිව පෙන්නල දීලා තියෙනවා. ඔන්න ලොකු, පළල් ගංගාවක් තිබෙනවා. මේ ගංගාවෙන් එතෙර වෙන්න පාලමක් නෑ. බෝට්ටු සේවයක්, නැව් සේවයක්, ඔරු පාරු සේවයක් නෑ. ගංගාවෙන් එතෙර වෙන්නත් ඕන. මෙතෙර භයානකයි. දැන් එයා ගඟ දිහා බලාගෙන මෙතෙර ඉඳන් වැඳ ගන්නවා. වැඳගෙන එතෙර දිහා බලාගෙන කියනවා, "පින්වත් එතෙර, මෙතෙර පැමිණෙත්වා" කියලා. පැමිණෙයිද? එහෙම එකක් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ නිවන පැතිල්ලත් අන්න ඒ වගේ එකක්.
ගඟෙන් එතෙරවෙන්න පාලමක් නෑ. බෝට්ටු සේවයක් නෑ. ඔරු පාරු සේවයක් නෑ. දැන් මොකද කරන්නෙ? ලී දඬු කෑලි හොයල, ශක්ති සම්පන්න පහුරක් හදාගන්නවා. හදාගෙන ඒ පහුර වතුරට දාලා වීරියෙන්ම ඒ පහුර අරගෙන යන්න ඕන. එහෙනම් පහුර අරගෙන යන්න තියෙන්නෙ අතේ පයේ වීරියෙන්මයි. එතකොට එයාට ගංගාවෙන් එතෙර වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ තමයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එතෙරට යන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පහුරෙන්, කාමය කියන ගංගාව එයා වීරියෙන් තරණය කරනවා. එයා උපතක් කරා යාම කියන වේගවත් සැඩ පහර සහිත ගංගාව තරණය කරනවා. අවිද්‍යාව කියන ගංගාව තරණය කරනවා. එයා අමා මහ නිවන කියන දූපතට ගොඩ වෙනවා. එයා සංසාරෙන් අත්මිදෙනවා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
'මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…' සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+