මහා පරිනිර්වාණය




සෑම බෞද්ධයෙකු විසින් තමන්ගේ ජීවිත කාලයේදී එක් වතාවක් හෝ පැමිණ දැක බලා ගෙන පහන් සංවේගය ඇතිකරගත යුතු වූ සුවිශේෂ පුණ් භූමියක් වෙතටයි ඔබව මේ රැගෙන යන්නේ.

අප ශාන්ති නායක තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා දෙව් මිනිස් සහිත ලෝකවාසීනට මෙලොව සුව, පරලොව සුව හා ලොව්තුරා සුවය වන නිවන් සුවය පිණිස මඟ පෙන්වා මීට වසර දෙදහස් පන්සිය පනස් අටකට පෙර දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින් මහා පරිනිර්වාණයට පත්වී වදාළ, ලෝකවාසී සියලු බෞද්ධ ජනතාව ධර්ම සංවේගය උපදවාගෙන වන්දනාමාන කරන කුසිණාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනට යි. මහා කාරුණික බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ මඤ්චකයේ වැඩ සිටිනා අයුරු නිරූපණය කර ඇති ලොව ඇති වඩාත් සංවේදීභාවය ඇති කරවන බුද්ධ ප්රතිමා වහන්සේ වැඩ සිටිනා ස්ථානය ගැන සිතෙහි පහන් සංවේගය උපදවා ගත යුතුයි.

දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්රයට අනුව මහාකාරුණික බුදුපියාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකය කරා වැඩි ගමන ආරම්භ කරන්නේ රජගහ නුවර ගිජ්ක්ධකූට පර්වතයේ වැඩ සිටිය දී අජාසත් මහාරාජාණන් විසින් එවන ලද සුනීධ සහ වස්සකාර යන අමාත්යවරුන් දෙදෙනාට ලිච්ඡවී රජ දරුවන් සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් යුක්තව කටයුතු කරන තුරු ඔවුන් කිසිවෙකුටත් පරාජය කළ නො හැකි බව පවසා එම සප්ත අපරිහානීය ධර්මයන් භික්ෂුන් වහන්සේලාට ගලපා දේශනා කොට එයින් අම්බලට්ඨිකා නම් ග්රාමය බලා පිටත් වන්නට ගමන් ආරම්භ කළා.

'අම්බලට්ඨිකා' ග්රාමයට වැඩම කළ බුදුපියාණන් වහන්සේ එහි දී භික්ෂූන් වහන්සේලාට කථා කොට සිහිපත් කළේ මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහෝ වයස්ගත යි. පිරිනිවන් පාන කාලය ආසන්නව යි සිටින්නේ. ඔබ සීල, සමාධි, ප්රඥාවන් දියුණු කොට ආශ්රවයන් ප්රහාණය කිරීමෙහි යෙදී කටයුතු කරන්න යනුවෙනු යි.

'අම්බලට්ඨිකා' ගමේ ටික කාලයක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් නාලන්දා නුවරට වැඩම කළා. 'නාලන්දාවෙහි ' ටික කාලයක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් 'පාටලීපුත්' ග්රාමයට වැඩම කොට එම ගම් වැසියන් විසින් තනා පූජා කරන ලද ආවාසයෙහි ටික කාලයක් වැඩ සිටියා. අනතුරු එතැනින් 'කෝටි ග්රාමය'ටත්, 'නාදිකා ග්රාමයටත්' වැඩම කළ බුදුපියාණන් වහන්සේ 'විශාලා මහනුවරට 'වැඩ කොට අම්බපාලීගේ අඹ උයනයට පිවිසියා. තමන්ගේ අඹ උයනට බුදුපියාණන් වහන්සේ වැඩම කළ බව දැන ගත් අම්බපාලිය උන්වහන්සේට පසුදා දනට ආරාධනා කොට දන් පිළිගන්වා බණ අසා සැදැහැවත් කාන්තාවක් බවට පත් වුණා. තමන් සතු අගනා අඹ උයන බුදුපියාණන් වහන්සේට පූජා කළා. පූජා කළ අඹ උයනේ කාලයක් වැඩ සිටිය බුදුපියාණන් වහන්සේ එයින් නික්ම 'බේලුව ග්රාමය' කරා වැඩම කළා. මේ බේලුව ග්රාමයේ තමයි උන්වහන්සේ අවසාන වස් කාලය ගත කළේ. මෙහි වැඩ සිටින සමයේ බුදුපියාණන් වහන්සේට ඉතා දරුණු මාරාන්තික වේදනාවන් ගෙනදුන් රෝගාබාධයක් ඇතිවුණා.

මනා සිහි නුවණින් සියලු වේදනාවන් ඉවසා දරා ගත් බුදුපියාණන් වහන්සේ කල්පනා කළේ භික්ෂූ සංඝයාට නො දන්වා පිරිනිවන් පෑම නුසුදුසු බැවින් සතර සෘද්ධිපාද බලයෙන් ආයු සංස්කාරයන් අධිෂ්ඨාන කළ යුතු බව යි. එසේ සිදු කළ පසු බුදුපියාණන් වහන්සේගේ ශරීරයේ වූ රෝගාබාධය දුරුවී ගියා. ඉන්පසු ළඟ සිටි ආනන්ද හාමුදුරුවන්ට කථා කොට අසළ තිබුණු 'චාපාල චේතිය' ළඟට වැඩම කළා.

චාපාල චේතිය අසල දී බුදුපියාණන් වහන්සේ 'ආනන්දය, ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යන සතර සෘද්ධිපාද ධර්මයන් බහුල කොට වඩා තිබෙන කෙනෙකුට අවශ් නම් කල්පයක් කල් වුණත් සිටිය හැකියි.' තථාගතයන් වහන්සේ එලෙසින් සතර සෘද්ධිපාද වැඩූ කෙනෙක් යැයි පැවැසුවා. එසේ පැවැසුවත් බුදුපියාණන් වහන්සේ මේ කියන කථාවේ යටි අදහස කුමක් දැයි අවබෝධ කර ගැනීමට ආනන්ද හාමුදුරුවන්ට අවකාශ නො ලැබුණේ උන්වහන්සේගේ සිත පවිටු මාරයා විසින් වෙනතකට යොමු කර තිබුණු නිස යි.

ආනන්ද හාමුදුරුවන්ගෙන් දිගු කල් වැඩ සිටීම සඳහා ආරාධනාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේ බුදුපියාණන් වහන්සේට උපස්ථාන කොට එතැනින් මදකට ඉවත් ගිය පසු එතැනට පැමිණි මාරයා සුගතයන් වහන්ස, දැන් පිරිනිවන් පාන්න කාලය සුදුසු යැයි පවසා සිටියා. තමන් වහන්සේගේ පන්සාලිස් වසක බුද්ධ කෘත්යය දෙස නැවත ආවර්ජනය කළ බුදුපියාණන් වහන්සේ සසුන රැක ගත හැකි ප්රතිබල සම්පන්න භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසක් දැන් සකස් වී ඇති බැවින් මෙයින් තවත් මාස තුනක් ගෙවී යන තැන දී තමන් වහන්සේ පිරිනිවන් පානවා යැයි සිතා ආයු සංස්කාර ධර්මයන් අත්හැර දැම්මා. සමඟින් මහ පොළොව මහ හඬින් කම්පා වී අකලට වැසි ඇද හැළෙන්නට ගත්තා.

මහ පොළොව කම්පා වීමෙන් අතිශයින් කලබලයට පත් ආනන්ද හිමියන් බුදුපියාණන් වහන්සේ වෙතට පැමිණ පොළොව කම්පා වෙන්නට හේතු විමසුවා.

එවිට උන්වහන්සේ මහපොළාව කම්පා වෙන්නට හේතු කාරණා අටක් සඳහන් කරමින් "භූමිචාල සූත්රය" දේශනා කළා. දේශනාව අනුව බුදුපියාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරින මොහොතේ මහ පොළොව කම්පා වෙනවා. කරුණු මැනවින් තේරුම් ගත් ආනන්ද හාමුදුරුවන් එම මොහොතේ මහ පොළොව කම්පා වූයේ බුදුපියාණන් වහන්සේ ආයු සංස්කාරයන් අත්හළ නිසා බව අවබෝධ වී මහත් කම්පාවෙන් තවත් කල්පයක් කල් වැඩ සිටින ලෙස ආයාචනා කළා.

එවිට බුදුපියාණන් වහන්සේ දැන් එම ඉල්ලීමට කාලය නො වන බව පවසා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්යතාව ගැන පවසා අනඳ මා හිමියන්ගේ සිතෙහි දුක තුනී කළා. අනතුරුව උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැවැසුයේ රජගහනුවර සිටින භික්ෂූන් වහන්සේලා කූටාගාර ශාලාවට රැස් කරවන ලෙසයට යි.

එදා මහා කාරුණික බුදුපියාණන් වහන්සේ මහ සඟ මැද පණවා තිබූ ආසනයේ වැඩ සිට බුදු සසුන බොහෝ කාලයක් පවත්වා ගැනීමට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුහුණු කළ යුතු බව පවසා සිටියා. එසේ හේතුන් නිසා හට ගන්නා සියල්ල හේතූන් නැති වී යාම තුළ නිරුද්ධ වෙන බවත්, තමන් වහන්සේ තව නොබෝ දිනකින් සියලු දෙනා අත්හැර පිරිනිවන් පානා බවත් පවසා සිටියා.

පරික්කෝ වයෝ මය්හංමහණෙනි, මට දැන් බොහෝ වයසයි

පරිත්තං මම ජීවිතංමට තව ජීවත්වීමට ඇත්තේ බොහෝ ටික කාලයයි

පහාය වෝ ගමිස්සාමාමම ඔබ සියලු දෙන අතැර යන්නෙමි

කතම්මේ සරණමත්තනෝමම මගේ පිහිට සාදා ගත්තා

අප්පමත්තා සතීමන්තාමහණෙනි ඔබ අප්රමාදී සිහිය පිහිටුවා ගෙන

සුසීලා හෝථ භික්ඛවෝසිල්වත් වාසය කරන්න

සුසමාහිත සංකප්පා සචිත්තමනුරක්ඛථ -හිත හොඳින් එකඟ කරගෙන

යෝ ඉමස්මිං ධම්ම විනයේයමෙක් මේ ධර්ම විනය නම් ශාසනය තුළ

අප්පමත්තෝ විහෙස්සතීඅප්රමාදී වාසය කරද්ද,

පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සතීජාත්යාදී සසර දුක් දුරු කොට නිවන් සුව සලසා ගන්නවා යනුවෙන් වදාළා.

අනතුරුව මහා කාරුණික බුදුපියාණන් වහන්සේ විශාලා මහනුවර පිණ්ඩපාත චාරිකාවෙහි යෙදුණා. එහිදී තමන්ගේ මුළු ශරීරය හරවා නාගාවලෝකනයෙන් විශාලා මහනුවර දෙස බැලූ බුදුපියාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට 'ආනන්ද, තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසන් අවස්ථාව මෙය යි. අප දැන් භණ්ඩ ග්රාමය වෙත යමු' යනුවෙන් පවසා සිටියා. උන් වහන්සේලා විශාලා මහනුවරට සමු දී භණ්ඩ ග්රාමය වෙත වැඩ කළා.

භණ්ඩ ග්රාමයේ ටික කලක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් හස්ති ග්රාමයටත්, අනතුරුව අම්බ ග්රාමයටත් වැඩම කළා. මහා කාරුණිකයාණන් වහන්සේ ජම්බු ග්රාමයටත්, එතැනින්භෝග නගරයටත් වැඩම කළේ ඉන් පසුව යි. භෝග නගරවාසීන්ට සතර මහා උපදේශ දේශනා කළ බුදුපියාණෝ එතැනින් පාවා නුවරට වැඩම කළා. පාවා නුවර වැසි චුන්ද කර්මාර පුත්රයාගේ අඹ උයනේ වාසය කළ බුදුපියාණන් වහන්සේට දානයට ආරාධනා කළ චුන්ද, උන්වහන්සේ වෙනුවෙන් ඌරන් ළඟින තැනින් හටගත් හතු වර්ගයකින් කරන ලද ආහාරයක් වන සූකර මද්දවය සහිත දානය පූජා කළා. බුදුපියාණන් වහන්සේට පමණක් එම ආහාරය බෙදන ලෙස දැන් වූ උන්වහන්සේ එහි ඉතිරි කොටස සතුන් නැති තැනක වල දමන්නට උපදෙස් දුන්නා. දන් වළඳා අවසානයේ චුන්ද කර්මාර පුත්රයාට භුක්තානුමෝදනාව සිදුකළ බුදුපියාණන් වහන්සේ ඔහුගේ නිවසින් පිටත් පසු උන්වහන්සේට කලක සිට පැවැති රෝගාබාධයක් වන ලෝහිතපක්ඛන්දිකා හෙවත් ලේ අතීසාරය උත්සන්න වුණා. මාරාන්තික වේදනාවක් බුදු සිරුරට ඇතිවුණා. සිහිනුවණින් සියලු වේදනාවන් ඉවසා දරාගෙන බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවනුත් සමඟින් පා ගමනින්ම කුසිනාරා නුවර බලා පිටත්වුණා. අතරමඟ දී අවස්ථා කීපයක දී රෝගය උත්සන්න වී ක්ලාන්තය ඇති වුණා.

කුසිනාරාව බලා ගමන් කරන බුදුපියාණන් වහන්සේට දැඩි පිපාසයක් දැනෙන්නට වුණා. ගමන් විඩාවෙන් පීඩාවට පත්ව සිටි බුදුපියාණන් වහන්සේගේ බුදු සිරුරට පිපාසය දැඩි වෙහෙසක් ගෙන දුන්නා. පිපාසය දරාගත නො හැකි තැන අතරමඟ දී ආනන්ද හිමියන්ට කථා කොට 'පිපාසයි ආනන්ද, පිපාසයි. තථාගතයන් වහන්සේට ක්ලාන්තයි. ආනන්ද, ඉක්මණින් තථාගතයන් වහන්සේට විවේක ගැනීමට අසුනක් පණවන්න' යනුවෙන් පැවැසුවා. පැන වූ ආසනය මත වැඩ සිටි බුදුපියාණන් වහන්සේ 'ආනන්ද, ඉක්මනට දිය පොදක් ගෙන එන්න' යැයි පැවැසුවා. පැන් ගෙන එන්නට අසළ තිබූ ජල පහර ළඟට ගිය ආනන්ද හිමියන්ට දැක ගත හැකි වූයේ එයට ටික මොහොතකට කලින් එහි දිය පහර හරහා ගමන් කළ ගැල් පන්සියයක් ඇද ගිය ගවයින්ගේ අඩි පාරවල් නිසා කැලැතී මඩ වී තිබුණු දිය යි. "අනේ මනා ලෙස පෙරා ඉතා පිරිසුදු ලෙසින් පැන් ලබා දුන් මගේ බුදුපියාණන් වහන්සේට මම කොහොම මේ අපිරිසුදු ජලය පානය කිරීම සඳහා ගෙන යන්නේ" යනුවෙන් සිතා අනඳ හිමියන් පැන් ගෙන යන්නේ නැතිව ආපසු බුදුපියාණන් වහන්සේ වෙතට ගියා. දිය අපිරිසුදු බැවින් බීටම නොහැකි බැවින් තමන් දිය නො ගෙනා බව ආනන්ද හිමියන් බුදුපියාණන් වහන්සේට පැවැසුවා. "ස්වාමිනි, කුකුත්ථා නදිය තිබෙන්නේ මේ අසලම යි. මදක් ඉවසා සිටින්න. එම නදිය වෙත ගොස් පැන් සැනැහී පැන් වළඳා සැනැහිය හැකි යැයි" පැවැසුවා. නමුත් පිපාසයෙන් ක්ලාන්ත වී සිටි බුදුපියාණන් වහන්සේගේ ඉල්ලීම වුණේ ' ආනන්ද, ඉක්මණින් පැන් ටිකක් ගෙන එන්න' යන්නයි.

ආනන්ද හාමුදුරුවන් බොහෝ වේදනාවට පත් අකැමැත්තෙන් නමුත් මඩ වතුර සහිත දිය පහර වෙත ගොස් පැන් ටිකක් පෙරා ගන්නෙමි යි සිතා පාත්රය වතුර වෙත ළංකරනවාත් සමඟින් එම දිය පහරෙහි තිබූ ජලය නිල් දිය දහරක් බවට පත් වී පිරිසුදු බබළන්නට විය. බුදුපියාණන් වහන්සේගේ ආශ්චර්යමත් පුණ් බලය ගැන වඩ වඩාත් පැහැදුණු ආනන්ද හිමියන් බුදුපියාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් එම දිය පහරින් පැන් පාත්රයක් ගෙනැවිත් පූජා කළා. එම දිය පානය කර සිය ගත වූ වෙහෙස මහන්සිය අඩුකර ගත් බුදුපියාණන් වහන්සේ එහිම ටික වේලාවක් වැඩ සිටියා.

අසලින් ගමන් කළ ආලාර කාලාමයන්ගේ ශ්රාවකයෙකු වූ කුක්කුස මල්ලයන් පාවා නුවර බලා යද්දී බුදුපියාණන් වහන්සේ වැඩ සිටින ඉරියව්ව දැක පැහැදී කථා බස් කොට තමන් සතුරන් පැහැති වස්ත් යුගලයක් බුදුපියාණන් වහන්සේට පූජා කළා. බුදුපියාණන් වහන්සේ ඉන් එකක් තමන් වහන්සේ විසින් පිළිගෙන අනෙක ආනන්ද හිමියන්ට පූජා කරන ලෙස පැවැසුවා. කුක්කුස එසේ කළා. ඔහු එතැනින් ඉවත්ව ගිය පසු ආනන්ද හාමුදුරුවෝ තමන්ට ලැබුණ සළුවත් බුදුපියාණන්ට පූජාකොට එම රන්වන් සළු දෙකෙන් බුදුපියාණන් වහන්සේගේ රන්වන් සිරුර සැරසුවා. එම සළු දෙක පෙරවීමෙන් පසු බුදු සිරුර ගිනි අඟුරු පැහැති රන්වන් පැහැයකින් බැබළෙන්නට වුණා.

එය දුටු ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමිනි, මම කවදාවත් දැකලා නැහැ බුදු සිරුර මේ ලෙසින් රන්වන් පැහැයෙන් බබළනවා. මෙයනම් හරිම ආශ්චර්යයක් යනුවෙන් පැවැසුවා. එවිට උන්වහන්සේ වදාළේ එලෙසින් බුදු සිරුර මහබෝසතුන් සම්මා සම්බුද්ධත්වයට පත්වන විට දී සහ මහා පරිනිර්වාණයට පත්වන දිනයේදී රන්වන් පැහැයෙන් බබළ යි. එසේම අද රාත්රියෙහි දී තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වෙන බවද උන්වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා.

33

මහා කාරුණිකයන් වහන්සේ ආනන්ද හිමියන් සමගින් එම ස්ථානයෙහි ටික වේලාවක් විවේක සුවයෙන් රැඳී සිට කුකුත්ථා නදිය වෙත වැඩම කළා. නදියට බැස පැන් සැනැහුණු උන්වහන්සේ නදියෙන් ගොඩට වඩිනාවත් සමඟින් තදබල ක්ලාන්ත ගතියකින් පෙළෙන්නට වුණා. ඉක්මණින් අසල පනවන ලද අසුනක වැඩහුන් මහා කාරුණිකයාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට පැවැසුවේ ආනන්ද, තථාගතයන් වහන්සේ යම් දානයක් වළඳා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේද, යම් දානයක් වළදා මහා පරිනිර්වාණයට පත්වූයේද, එම දන් දෙකම සමාන විපාක ආනිසංස ඇති දාන බවට චුන්ද කර්මාර පුත්රයාට පවසන්න යනුවෙනි. බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මා විසින් දෙන ලද ආහාර අපත්යවීම නිසා යැයි සිතා චුන්දකර්මාර පුත්රයා කම්පාවට පත්වේවි යැයි සිතා ඔහු එම තත්ත්වයෙන් මුදවා ගනු පිණිසයි මහාකාරුණික බුදුපියාණන් වහන්සේ එලෙසින් කටයුතු කළේ. අනුන්ගේ සිත් රිදවන්නට කැමැති නො වුණ උන්වහන්සේ පිරිනිවන් පාන අවසන් මොහොතේ පවා මහාකාරුණාවෙන් ලෝක සත්ත්වයාට පිහිට වූ ආකාරය හරිම අසිරිමත්.

ඉන්පසු උන්වහන්සේ අනඳ හිමියන් සමඟින් හිරණ්යවතී නදියෙන්ද එතෙර කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයන වෙතට වැඩම කළා.

එහිදී ආනන්ද හිමියන් විසින් උන්වහන්සේගේ උපදෙස් පරිදි සල්ගස් දෙකක් අතර උතුර දෙසට හිස ළා පණවන ලද සයනය මත දකුණු ඇලයට සිංහ සෙය්යාවෙන් සයනය කරනවාත් සමඟින් එම සල් ගස් වල අකලට පිපි මල් සුවඳ විහිදුවමින් අමාමෑණි බුදුපියාණන් වහන්සේ පුදන ආකාරයෙන් බිමට ඇද හැළෙන්නට වුණා. දස දහසක් ලෝක ධාතුවලින් පැමිණි කෝටි ගණන් දේව බ්රහ්ම සමූහයා අහසෙහි සිට මදාරා පරසතු මල් ඉසිමින් බුදුපියාණන් වහන්සේ පිදුවා. මේ අසිරිමත් ආමිස පූජාවෙන් පිරිනිවන් මඤ්චකයේ සිට දැකගත් බුදුපියාණන් වහන්සේ භික්ෂු, භික්ෂුණි උපාසක, උපාසිකා යන සිව්වරණක් පිරිස තමන් දේශනා කරන ලද ධර්ම මාර්ගයෙහි හැසිරෙන්නේ නම් එය තමන් වහන්සේට කරන නියම ගෞරවය හා උපහාරය වන බව වදාළා.

මේ ශෝකජනක මොහොතෙහි උපවාන නම් ස්වාමින් වහන්සේ විඩාබර වැඩි සිටි තමන්ගේ ගාස්තෘන් වහන්සේට පවන් සළමින් සිටියා. බුදුපියාණන් වහන්සේ උපවාන තෙරුන්ට වදාළේ එතැනින් ඉවත් වන ලෙසයි. එම ක්රියාවෙන් විමතියට පත් ආනන්ද හිමියන් ගැන විමසද්දී බුදුුපියාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ මහාපරිනිර්වාණය දැක බලා ගැනීමට පැමිණි දස දහසක් ලෝක ධාතුවල දෙවියන්ට උපවාන තෙරුන්ගේ සෘද්ධි බලය හේතුවෙන් තමන් වහන්සේ නො පෙනෙන බැවින් දෙවියන් කම්පා වී සිටින නිසා එසේ කළ බවයි.

ඉන්පසු උන්වහන්සේගේ මහා පරිනිර්වාණය දැකබලා ගැනීමට පැමිණි කෝටි ගණන් කෙලෙස් සහිත දේව බ්රහ්ම සමූහයා භාග්යවතුන් වහන්සේ ඉතා ඉක්මණින් පිරිනිවන් පානවා. මේ ලෝකට පහළ වූ අසහාය දහම් ඇස අතුරුදහන් වෙනවා යනුවෙන් පවසමින් හඬා වැළපෙන්නට වුණා.

පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි අප මහා කාරුණික බුදුපියාණන් වහන්සේ දුර්ලභ මිනිසත් බවක් ලබා ගත් අප විසින් මේ ජීවිතයේ දී සිදුකර ගත යුතු වටිනා පින්කමක් මේ මොහොතෙහි දී සිහිපත් කර දුන්නා. දැහැමි කුල පුත්රයන් විසින් දැක පහන් සංවේගය ඇතිකර ගෙන බොහෝ පින් රැස් කර ගත හැකි ස්ථාන හතරක් උන්වහන්සේ මෙහිදී හඳුන්වා දුන්නා. මහබෝසත් උපත සිදුවුණු ලුම්බිණිය, බුදු බව ලැබූ බුද්ධගයාව, පළමු දම් දෙසුම සිදුකළ බරණැස ඉසිපතනාරාමය හා මහා පරිනිර්වාණය සිදු වූ කුසිනාරා නුවර උපවර්තන සල් උයන ස්ථාන හතර යි. මෙම ස්ථාන හතර දැක බලා වන්දනා කොට තිබෙන කෙනෙක් මරණ මොහොතේ එය සිහිකර ගෙන මරණයට පත් වුවහොත් තැනැත්තා ඒකාන්තයෙන් සුගතිගාමි වන බව වදාළා.

ඉන්පසු බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ මඤ්චනයේ වැඩ හිඳ කාන්තාවන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළයුතු ආකාරයත්, බුදු සිරුරක් ආදාහනය කරන ආකාරයත්, ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්යය සාදා පිදීමට සුදුසු ථූපාර්හ පුද්ගලයන් ගැනත් පෙන්වා වදාළා.

අප සෑම බෞද්ධකු විසින්ම තමන්ගේ ජීවිත කාලයේදී එක් වතාවක් හෝ පැමිණ දැක බලාගෙන පහන් සංවේගය ඇතිකරගත යුතු වූ සුවිශේෂ පුණ් භූමි හතරක් අප ශාන්ති නායක තිලෝගුරු සම්මා සම්බුදුරාජාණන් වහන්සේ දේශනා කොට වදාළා. උන්වහන්සේගේ මහ පරිනිර්වාණය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.

බුදුපියාණන් වහන්සේ විසින් මේ කරුණු ස්වාමින් වහන්සේලා වෙත පවසා ආනන්ද හාමුදුරුවන් කොහිදැයි විමසිද්දී උන්වහන්සේ එතැන රැඳී සිටියේ නැහැ. උන්වහන්සේ අසළ තිබුණු විහාර ගෙයක පිටුපසට ගොස් එහි උළුවස්සේ එල්ලි ගෙන හඬා වැළපෙන්නට වුණා. මොහොතේ අනේ මෙතෙක්කල් මට අනුකම්පා කළ මගේ බුදුපියාණන් වහන්සේ තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මෙතෙක් කල් බොහෝම ආදරයෙන් රැක බලා ගත් මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේ මාව අතහැර යනවා. දැන් මා වෙන කා සමඟින් නම් ධර්ම සාකච්ඡා කරන්නද, ප්රශ්න විමසන්න ? කාට නම් උවටැන් කරන්න ? මට ශක්තියක් වුණු මගේ බුදුරජාණන් වහන්සේ මට අද සිට සජීවිව නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙතුවක් කල් දීර්ඝ සංසාරයේ සහෝදරයෙකු ලෙසින්, පියෙකු ලෙසින්, විවිධ ස්වරූපයන්ගෙන් බැඳී සංසාරගත බැම්ම අද සිට පවතින්නේ නැහැ. මට අදින් පසු ජීවමාන බුදුපියාණන් වහන්සේ දකින්නට ලැබෙන්නේ නැහැ මින්පසු මම උදෑසනින් පිබිදී උවටැන් කරන්නේ කා හටද? රාත්රිය උදාවන තුරු ළඟින් සිටිමින් සොයා බලන්නේ කා ගැන ? බුදුපියාණන් වහන්සේ නැති ලෝකය තුළ මා අසරණ වෙනවා නේද? මේ මහා කාරුණික බුදුපියාණන් වහන්සේ නැති ශෝකය, පාඩුව මා කෙසේ නම් විඳ දරා ගන්න ? වැනි ශෝකාකූල සිතිවිලි සමූහකින් අනඳ මා හිමියන්ගේ සිත වැසී යට වී යන්නට ඇත.

ආනන්ද හාමුදුරුවෝ මදක් ඈතට ගොස් හඬා වැටෙන බව දැන ගත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඟට ගෙන්වා දුක තුනී කර ගන්නට අවවාද දුන්නා. ආනන්ද, ඔබ ඔබෙන් ඉටුවිය යුතු වගකීම නිසි ලෙසින් ඉටු කළා. මට ඉතා හොඳින් උපස්ථාන කළා. ඒත් ආනන්ද කෙදිනක හෝ සියලු පිරය මනාප දෙයින් ඈත් වන්නට සිදුවෙනවා. මොහෙතට අප සෑම දෙනාම මුහුණ දිය යුතුයි. ආනන්ද, අඬන්න එපා. දුක් වෙන්න එපා. ඔබ මහා පින් ඇති අයෙක්. කුසල් දියුණු කළ අයෙක්. නිසා වීර්යය වඩන්න. අප්රමාදී මා දෙසූ ධර්මය සිහි නුවණින් මෙනෙහි කොට මේ ආර්ය සත්යය දැක දුකින් මිදෙන්නට වෙහෙසෙන්න. ඔබට රහත්වීමේ හැකියාව තිබෙනවා' යනුවෙන් බුදුරජාණන් වහන්සේ අනඳ මා හිමිපාණන්ට පවසා සිත සැනැසුවා.Divine-Light-Lord-Buddha-SOLD-[1]

අනතුරුව ආනන්ද හාමුදුරුවෝ බුදුපියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ කුසිනාරාව වැනි කුඩා නගරයක දී පිරිනිවන් පාන්නේ නැතිව චම්පා නුවර, රජගහනුවර, බරණැස් නුවර වැනි විශාල නගරයකදී පිරිනිවන් පානා ලෙසයි. එහිදී බුදුපියාණන් වහන්සේ සිහිපත් කළේ කුසිනාරා නුවර කුඩා නගරයක් නොව උන් වහන්සේ බෝසත් ආත්මභවයක මහා සුදස්සන නම් සක්විති රජුව රජකම් කළ නගරය බවයි. මේ කුසිනාරාවට එතරම් දීර්ඝ වූත්, පූජනීයවූත් ඉතිහාසයක් තිබෙනවා.

තව සුළු මොහොතකින් තථාගයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවා යන ආරංචිය ලැබී එතැන රැස් සිටි මහ පිරිස පීරාගෙන බුදුපියාණන් වහන්සේ ඉදිරියට එන්නට උත්සාහ කළ 'සුභද්' නම් පරිබ්රාජකයා කෙරෙහි මහා කරුණාවෙන් බලා ඔහුට සමීපයට එන්නට යැයි කියා දහම් දෙසා ඔහුට ආර්ය ශ්රාවකභාවය ලබාදීමට තරම් බුදුපියාණන් වහන්සේ කාරුණික වුණා. සුභද් ජීවමාන බුදුපියාණන් වහන්සේගෙන් පිළිසරණ ගත් අවසාන ආර්ය ශ්රාවකයා බවට පත් වුණා.

අනතුරුව තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය හා විනය දෙක ගුරු තැන්හි ලා සලකා කටයුතු කළයුතු බව පවසා තමන් දේශනා කළ ධර්මය පිළිබඳ කිසියම් සැක සහිත තැන් තිබෙනවා නම් විමසන්නැයි අවසාන මොහොතේ පවා ඉල්ලා සිටියේ අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ අප දුකින් මුදවාලීමට තිබුණු පරාර්ථකාමීත්වය ප්රකට කරමිනුයි. එතැන රැස් සිටි සියලු ස්වාමින් වහන්සේලාගේ සිත් සිය සිතින් පිරිසිඳ දැනගත් බුදුපියාණන් වහන්සේ සියලු දෙනා වහන්සේ සම්මා දිට්ඨියෙන් යුතු ශ්රාවකයන් බව වටහා ගෙන සියලු ශ්රාවකයන් වෙනුවෙන් තම අවසන් අවවාදය ප්රකාශ කළා.

හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ

මහණෙනි, අවසන් වතාවට ඔබ අමතා කියමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. අප්රමාදී කුසලයෙහි යෙදෙන්න යන බුද්ධාවවාදය සිදු කළා.

ඉන්පසු සිංහ සෙය්යාවෙන් සයනය මත වැඩ සිටි බුදුපියාණන් වහන්සේ සිය දෑස් වසා ගත්තා. සිහිනුවණින් ප්රථම ධ්යානයට සම වැදුණා. එයින් නැගිට ද්විතිය ධ්යානයට සම වැදුණා. එයිනුත් නැගිට තෘතිය ධ්යානයට සම වැදුණා. තෘතිය ධ්යානයෙන් නැගිට ගත් බුදුපියාණන් වහන්සේ චතුර්ථ ධ්යානයට සම වැදුණා. එයින් නැගි ගත් බුදුපියාණන් වහන්සේ ආකාසානඤ්චායතන නම් වූ අරූප ධ්යානයට සම වැදුණා. අනතුරුව විඤ්ඤාණඤ්චායතනයට , ආකිඤ්චඤ්ඤායතනයට , අනතුරු නේවසඤ්ඤානාසඤ්ඤායතනයට අනුපිළිවෙලින් සම වැදුණා. එයින් නැගිට සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සම වැදුණා.

මහා කාරුණික බුදුපියාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවාත් සමඟින්ම උන්වහන්සේගේ ශරීරයෙහි තිබුණු කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනී වී නිරුද්ධ වී ගියා. එවිට අසළ වැඩ සිටි ආනන්ද හාමුදුරුවන් අනේ මහා කරුණික මගේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවා යනුවෙන් කියා හඬන්නට වුණා. එවිට එහි වැඩ සිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද හිමියන්ට පැවැසුයේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවා නොව නිරෝධ සමාපත්තියට සම වැදුණු බවයි.

නිරෝධ සමාපත්තිය තුළ බොහෝ වේලාවක් වැඩ සිටි බුදුපියාණෝ එයින් නැගී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුණා. එයින් නැගී සිට ආකිඤ්චඤායතනයටත්, එයින් නැගී සිට විඤ්ඤාණඤ්චායතනයටත්, එයින් නැඟී සිට ආකාසානඤ්චාඤ්ඤායතනයටත් එයින් නැගී සිට විඤ්ඤාණඤ්චායතනයටත්, එයින් නැඟී සිට ආකාසණඤ්චායතනයටත්, සම වැදුණා. ඉන් අනතුරු හතර වෙනි ධ්යානයටත් එයින් තුන්වෙනි ධ්යානයටත්, දෙවැනි ධ්යානයටත් සම වැදුණා. දෙවැනි ධ්යානයෙන් නැගී සිටි බුදුපියාණන් වහන්සේ ප්රථම ධ්යානයට සම වැදුණා. නැවතත් අනුපිළිවෙලින් ප්රථම ධ්යානයේ සිට ද්විතීය, තෘතීය ධ්යානවලට සම වැදුණා. තෘතීය ධ්යානයෙන් නැගී සිටි මහා කාරුණික බුදුපියාණන් වහන්සේ හතර වෙනි ධ්යානයට සම වැදී එයින් නැඟී සිටිනවාත් සමඟින් දස දහසක් ලෝක ධාතුව කම්පා කරවමින්, කෝටි ගණන් දේව බ්රහ්ම සමූහයා සෝ සුසුම් සයුරේ ගිල්වමින් මේ පුණ්යවන්ත ශුද්ධ භූමියේදී අවසන් සුසුම් පොද වා තලයට මුසු කොට මහා පරිනිර්වාණයට පත් වුණා.

මේ මිහිමත සිදුවිය හැකි අතිශයින් සංවේගජනක වූත් ආශ්චර්යමත් වූත් මහා පරිනිර්වාණය සියැසින් දැකබලා ගැනීමට පැමිණි සක් දෙව් රජ මේ ගාථාව ප්රකාශ කළා

අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූපසමෝ සුඛෝ

සියලු සංස්කාර ධර්මයන් හේතුන් නිසා හට ගෙන හේතු නැතිවී යාම තුළ නිරුද්ධ වන්නේය. ඉපදී නැසී යන සංස්කාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ඒවා සන්සිඳවීම සැප ගෙන දෙන්නේ .

එනිසා අපත් මේ ජීවිතයේ අනිත්යතාව මෙනෙහි කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. අපහැම දෙනාටම විමුක්ති මාර්ගය පෙන්වා වදාළ අමා මෑණි බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ හතළිස් පස් වසරක බුද්ධ කෘත්යය නිමවා ජීවිතයේ සැබෑ තතු අප වෙත කියා පාමින් මහා පරිනිර්වාණයට පත් මේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ සිට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්යතාවත්, ජීවිතයේ ඇති අස්ථිරතාවයත්, මරණයෙහි ඇති ස්ථිරතාවයත් මෙනෙහි කරමු.

අප තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ මෙන්ම මහා සම්පත් ඇති සිටි මහා පිනැති මහා මන්ධාතු ආදී නර ශ්රේෂ්ඨයෝ මරණයට පත් වූවාහු . එසේ මම ඒකාන්තයෙන්ම මරණයට පත් වෙමි. මා කරාද නොවරදවා මරණය පැමිණේ.

විදුලියක්, දිය බුබුළක්, අහසින් වැටෙන වැසි පොදක් මෙන් ජීවිතය විනාශයට පත්වේ. සතුරෙකු සේ මරණය අප පසු පස හඹා එන්නේය.

මහා පිනැති මහා සෘද්ධිමත්තු මහ නුවණැත්තෝත් මේ මරණයට පත් වූවාහු . එසේ නම් මා වැන්නවුන් ගැන කවර කථාවක් ?

උත්පත්තියත් සමඟ මරණය පැමිණේ. මරණය තම අවස්ථාව සළසා ගැනීම සඳහා වධකයෙකු ලෙස හැමදාම අප පසු පස පැමිණෙන්නේ .

අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ මේ බිමෙහි දී යම් සේ මහා පරිනිර්වාණයට පත් වූවාහු , අපටද කෙදිනදී හෝ කොතැනක දී හෝ කවරාකාරයකින් හෝ මරණයට පත් වන්නට සිදුවේ. මේ ලොව සිටින සියලු දෙනා ඒකාන්තයෙන් යන ගමන මරණය යි.

ජීවිතං අනියතංජීවිතය අනියතයි
මරණය නියතංමරණය නියතය

විසි අසංඛ් කල්ප ලක්ෂයක් කල් මේ දීර්ඝ වූ සංසාරයේ බුද්ධත්වය වෙනුවෙන් අපමණ වූ දුක් වේදනාවන් විඳ චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ කරගෙන, දුකින් පෙළෙන අප සියලු දෙනා දුකෙන් එතෙර කරවීමේ මහාකාරුණික අදහසින් හතළිස් පස් වසරක කාලයක් තමන් වහන්සේගේ බුද්ධ කෘත්යය ලොවට සිදුකොට මීට වසර දෙදහස් පන්සිය පනස් හතකට පෙර කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ මනරම් සල් රුක් දෙකක් අතර සිංහ සෙය්යාවෙන් සැතපී සිටියදී දහ දහසක් ලෝක ධාතුව කම්පා කරමින්, මහා පරිනිර්වාණයට පැමිණ වැඩ වදාළ අප ශාන්ති නායක අමාමෑණි මහාකාරුණික භාග්යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+