දුමින්දාගමනයෙන් එකලු කළ උඳුවප් පුර පසළොස්වක







දඹදිව දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති මිථ්‍යා සමාජ පිළිගැනීම් දෙදරවා හරිමින් මහා විප්ලවයක් සිදුකළ ශාස්තෘන් වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේට ලෝ වැසි බුද්ධිමතුන් දක්වන ගෞරවය විශාලය. එයින් එක් කරුණක් වූයේ මහත් දුබලතාවයන්ගෙන් යුක්තය යි ද, තිරිසන් සතෙකු තරම්වත් වටිනාකමක් නැතයි ද බ්‍රාහ්ණයන් විසින් හඳුන්වා දුන් පුහු මතය බැහැර කොට කාන්තාවට පුරුෂ පක්ෂය තරමට ම සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමයි. මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ නායකත්වයෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීම ඒ අතර දක්නට ලැබෙන සුවිශේෂ සිදුවීමකි.


බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී මෙහෙණි සසුන ආරම්භ කිරීම නිසා සංඝ සමාජය තරමටම එය පැතිරී යන්නටත්, විවිධ දක්ෂතාවන්ගෙන් යුත් භික්ෂුණීන් ඇතිවන්නටත්, දහස් සංඛ්‍යාත කාන්තාවන් මග ඵල ලබන්නටත් අවස්ථාව උදා වූ බව ශාසන ඉතිහාසය පෙන්වා දෙයි. චිරරාත්‍රඥ භික්ෂූන් අතර අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් අග තනතුරට පත්වීම සේ ම මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය භික්ෂුණීන් අතර එම තනතුර ලැබීමත් සැරියුත්, මුගලන් දෙදෙනා වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබු සේම ඛේමා ,උප්පලවණ්ණා දෙනම අග්‍ර ශ්‍රාවිකාවන් බවට පත්වීමත් වැනි නිදසුන් වලින් ශාසනයෙහි කාන්තා පක්ෂයට ලැබුණූ උසස් ස්ථානයන් ප්‍රකට වෙයි. 

සසුන්ගත වූ බොහෝ කාන්තාවන් තුළ පැවැති උද්‍යෝගය, එඩිතර භාවය සහ ශාසනික ප්‍රතිපදාවට අනුකූල වූ පැවැත්ම ආදර්ශ සම්පන්නය. ජීවක අඹ වනයෙහි හුදෙකලාව වැඩ විසූ සුභා තෙරණියගේ සුරූපී රූ සපුවට වශී වී ආ තරුණයාගෙන් ‘මේ නිස්සාර වූ ශරීරයෙහි කුමක් සාර වශයෙන් සිතා මා වෙත පැමිණියේ ද? යි එතුමිය විමසුවාය. තරුණයාගේ පිළිතුර වූයේ දිග් වූ සුන්දර ඔබේ නෙත් සඟල මා රතියෙන් බැඳගත් බව යි. එවිට මේ ගඳ ගසන ඇස ඔබට අවශ්‍ය නම් මෙන්න ගන්න’යි සුභා තෙරණිය තම ඇස ගලවා තරුණයාගේ අතේ තැබීමට තරම් එඩිතරව ගත් පියවර මුළු මහත් කාන්තාවන්ට ම එඩිතර බවක් ගෙන දෙයි.

විවිධ අංශයන්ගෙන් බැබළෙමින් දඹදිව පැවැති මෙහෙණි සසුනෙහි ශ්‍රේෂ්ඨතම අවස්ථාව අපට හමුවන්නේ බුද්ධ වර්ෂ 218 දී බලයට පත් ධර්මාශෝක අධිරාජයාගේ පාලන කාලයෙහි ය. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එකල දඹදිව පැවැති තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව රටවල් නවයකට බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා බෞද්ධ ධර්ම දූතයන් පිටත්කොට යැවු බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අතුරෙන් රාජකීය දූත පිරිසක් මිහිඳු මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පොසොන් පුන් පෝදා ලංකාවට සැපත් වූහ. එවකට ලංකාව පාලනය කළ දෙවන පෑතිස් රජතුමා (ක්‍රි.පූ. 307-267) ඇතුළු පිරිසට ධර්ම දේශනා පැවැත්වීමෙන් බොහෝ අයට මග ඵල ලැබීමටත් තවත් පිරිසකට බුදු සසුන වැළඳ ගැනීමටත්, ඒ අතුරෙන් වැඩි පිරිසකට සසුන්ගත වීමටත් මං සැලසීමට මිහිඳු මාහිමි ප්‍රධාන දූත පිරිස සමත් වූහ. මේ සමඟ සසුන්ගත වීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසු වු අනුලා ප්‍රධාන පන්සියයක් කාන්තාවන් පැවිදි කිරීමට භික්ෂූන්ට විනයානුකූල අයිතියක් නැති බවත්, එසේ අවශ්‍ය නම් එයට ඉන්දියාවේ සසුන්ගතව වැඩ සිටි තම සහෝදරිය වු සංඝමිත්තා තෙරණිය වඩමවා ගන්නා ලෙසත් මිහිඳු හිමියෝ උපදෙස් දුන්හ. මෙයින් ප්‍රසාදයට පත් දෙවන පෑතිස් රජතුමා ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් සංඝමිත්තා තෙරණිය වඩමවා ගෙන ඒම සඳහා තම බෑණනුවන් වූ අරිට්ඨ මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසක් ඉන්දියාවට පිටත්කොට යැවීය.

ලක් රජතුමාගේ ඉල්ලීම දැනගත් අශෝක රජතුමා තරමක් දුකට පත්විය. ඊට හේතුව තම පුතණුවන් වූ මිහිඳු මාහිමියන් මෙන්ම දියණියගේ පුතණුවන් වූ සුමන සාමණේරයන්ද තමාගෙන් ඉවත්ව ලංකාවට වැඩමකොට සිටිය දී දියණිය ද දඹදිවින් ගියහොත් සෑහෙන පාළුවක් මෙන්ම වේදනාවක්ද ඇතිවන හෙයිනි. එහෙත් තම සොහොයුරු මිහිඳු මාහිමියන්ගේ අදහස් ඉටු කිරීමට සංඝමිත්තා තෙරණිය තුළ තිබූ බලවත් කැමැත්තට එකඟ නොවී සිටීමට අශෝක රජතුමාට නො හැකි විය. ඒ සමඟ ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව එවන මෙන් ලක් රජතුමා කළ ඉල්ලීම ධර්මාශෝක අධිරාජයාට තිබූ තවත් ගැටලුවකි. ලංකාවට බෝධි ශාඛාව වැඩම කිරීම පිළිබඳව බුදුරදුන් තුළ ද පරිනිර්වාණය මඤ්චකයෙහි වැඩ සිටිය දී අධිෂ්ඨානයක් පැවැති බව මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ දැන්වීම නිසා අශෝක රජතුමා මහත් ප්‍රසාදයෙන් ගෞරව පුදසත්කාර මත බෝධි ශාඛාව ද වැඩමවීම සඳහා පූර්ණ සහාය ලබා දුන්නේය.

සංඝමිත්තා තෙරණිය, උත්තරා ,හේමා, අග්ගිමිත්තා, පබ්බතා, ආදී නම් ඇති තවත් භික්ෂුණීන් එකොළොස් නමක් ද, බෝධි ආරක්ෂක ශ්‍රේණි දහ අටකට අයත් පිරිසක් ද , සමඟ සිද්ධාර්ථ බෝසතුන්ට බුද්ධත්වය ලැබීමට මහෝපකාරි වූ බුද්ධගයාවේ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද උඳුවප් පුර පසළොස්වක පොහෝ දින උතුරේ පිහිටි දඹකොළ පටුනෙන් ශ්‍රී ලංකාවට වැඩමකර වූවාය. එදා පිරිවර සහිත දෙවනපෑතිස් රජතුමා කරවටක් මුහුදට බැස සංඝමිත්තා තෙරණිය ප්‍රධාන පිරිසත්, බෝධි ශාඛාවත් ගෞරවයෙන් පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා ගෙන අවුත් එම බෝධි ශාඛාව මහමෙවුනා උයනෙහි රෝපණය කරවීය. මේ පිළිබඳ සමන්තපාසාදිකාව, මහාවංශය , දීපවංශය , බෝධිවංශය වැනි ග්‍රන්ථවල විශාල වශයෙන් වර්ණනාත්මකව කරුණු දැක්වේ.

මුළු ලෝකයේම අඛණ්ඩ ඉතිහාසයක් ඇති පැරැණි වෘක්ෂ රාජයා වශයෙන් දැක්වෙන්නේ මේ උතුම් බෝධින් වහන්සේය. සුප්‍රසිද්ධ විල්හෙම් ගයිගර් හා රීස් ඩේවිඩ්ස් ආදි උගතුන්ගේ ලේඛන වලින් ද , ඉන්දියාවේ සාංචියේ දැක්වෙන කැටයම් වලින්ද , වංශ සාහිත්‍යයෙන් ද ස්ථිර ලෙස සත්‍යතාව තහවුරු කොට ඇති බෝධි ආගමනය තරම් ලාංකික සමාජයට බලපෑ වෙනත් සිදුවීමක් නොමැත. මේ බෝධීන් වහන්සේගෙන් හටගත් පැළ ලංකාවේ උතුරු කෙළවරෙහි දඹකොලපටුන වැනි ස්ථානවලත්, දකුණු කෙළවරෙහි කතරගම චන්දනගම ඇතුළු තවත් ස්ථාන කිහිපයකත් රෝපණය කිරීම ඉතා අගය කළ යුතු සිදුවීම්ය .මහමෙවුනා උයනෙහි රෝපිත උතුම් බෝධින් වහන්සේ පිළිබඳ කරුණු දැක් වු සුප්‍රසිද්ධ පුරා විද්‍යාඥයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු වූ පෝල් ඊ පීරිස් මහතා මහාබෝධි වෘක්ෂ රෝපණය තරම් තදින් සිංහලයන්ගේ සිත් ඇද ගත් වෙනත් කිසිදු සිද්ධියක් නොමැති බවත් ඉතා ශක්ති සම්පන්න ගොඩනැගිල්ලක් තුළට පවා යන මෙහි මෘදු මුල් මෙන් මෙම වෘක්ෂයෙන් ඇතිවන බලය මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගමන් කරන බවත් සඳහන් කරයි. ඒ සමඟ ලංකාවට පැමිණි අටළොස් ශ්‍රේණිවලට අයත් ජනයා නිසා මේ රටෙහි පාලනය,ආර්ථිකය , නිර්මාණ හා කලා ආදි සෑම අංශයක ම වේගවත් දියුණුවක් ඇති විය.

ලංකාවට සැපත් වූ සංඝමිත්තා තෙරණිය කුඩා අවධියේ පටන් ම උගත් හා ගුණයහපත්කම් වලින් සපිරුනු කාන්තාවක් වූවාය. තම සොහොයුරු මිහිඳු මාහිමියන් ද, තම පුත් සුමන කුමරුවන්ද, ස්වකීය සැමියා වු අග්ගිබ්‍රහ්ම කුමාරයා ද පැවිදි වීමත් සමඟ සසුන්ගත වීමට තද කැමැත්තෙන් පසු වූ එතුමිය ආයුපාලී නම් රහත් තෙරණියගේ ආචාර්යත්වයෙන් ධම්මපාලි නම් තෙරණියගේ උපාධ්‍යායත්වයෙන් සසුන්ගත වූවාය. එතුමිය තුළ තිබු පූර්වකෘත පුණ්‍ය මහිමයත් , චිත්ත බලයත්, උට්ඨාන වීර්යයන් හේතුකොට ගෙන ටික කලකින් උතුම් රහත් බව ලබා ගැනීමට හැකිවිය.

සංඝමිත්තා තෙරණිය උඳුවප් පුර පසළොස්වක දින ලංකාවට පැමිණ අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් පන්සියයක් සසුන්ගත කිරීමෙන් ලක්දිව මෙහෙණි සසුන ආරම්භ කළාය. සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණීන්ගේ ප්‍රථම ආරාමය වූයේ දෙවනපෑතිස් රජතුමා විසින් ඉදිකරවා දෙන ලද හත්ථාල්හක මෙහෙණවර යි. මෙතැන් පටන් අනුක්‍රමයෙන් ව්‍යාප්ත වී ගිය භික්ෂූණීහු ජනතාව අතර ධර්ම ප්‍රචාරය කරමින්ද , විවිධ සාමාජික සේවාවන්හි යෙදීමෙන් ද පසු වූහ. පස්වන සියවසේදී දේවසරා නම් භික්ෂුණියගේ නායකත්වයෙන් එකුන්විස්සක් පමණ වූ භික්ෂුණීන් පිරිසක් චීනයට වැඩමවා එහි මෙහෙණි ශාසනය පිහිටුවීම සුවිශේෂ සිදුවීමකි. අනුරාධපුර යුගය අවසන් වන විට මෙහෙණි සසුන ද මේ රටෙන් සම්පූර්ණයෙන් ම අතුරුදන්ව ගිය බව පෙනේ.
.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 
විශ්‍රාමික සහකාර විදුහල්පති 
ගල්කිස්ස බෞද්ධායතනාධිපති 
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය 
දිවියාගහ යසස්සි නා හිමි
.

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+