ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් අසිරිමත් බක් මස පුරපසළොස්වක පෝය





ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරාවෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.
අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.
හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.
වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.
මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.
-----------------------------------------------------------------------------
බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.
දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.
බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.
ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම
කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.
මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.
මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි.
උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.
****



0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+