සුන්දර සමාජයක් සඳහා අධ්‍යාපනය



අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් 1971 වෙසක් පොහොය දා 'දිනමිණ' පත්‍රයට ලියූ ලිපියකි මේ. අපේ අධ්‍යාපනය සැකසිය යුතු ආකාරය උන් වහන්සේ පැහැදිලි කරති. මේ අදහස ඉදිරිපත් කොට වසර 43ක් ගෙවී ගිය ද, අධ්‍යාපනයේ වෙනසක් වී නැත.

අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ලේ බිඳකුදු නොසොල්වා කරුණා මෛත්‍රී පූර්වංගම උපදේශ මාලාවකින් සුන්දර සමාජ පරිවර්තනයක් ඇති කළ උත්තමයා බුදු රජාණන් වහන්සේ ය. අප සමාජයෙහි ද එබඳු සුන්දර පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඒ උතුම් බුදු රජාණන් වහන්සේ පිළිබඳ උතුම් ම දිනය වන මේ වෙසක් පුර පසළොස්වක දා අපි කවුරුත් ඉටාගනිමු.

එබඳු සුන්දර සමාජ පරිවර්තනයකට උපකාර වන ඉතා වැදගත් අංශයක් නම් අධ්‍යාපනය යි. එහෙයින් බලාපොරොත්තු රහිත ව පැනනැඟුණු අතිශය උග්‍ර තත්ත්වයක් හිත තබාගෙන පහත සඳහන් කරුණු සැලැකිල්ලට භාජනය කරන මෙන් රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙහි සඳහන් ඇතැම් කරුණු ඉතිහාසය දැක්වීමට ලීවා විනා කිසි ම පිරිසකට දෝෂාරෝපණයක් වශයෙන් නොවන බව මේ වෙසක් පුනු පොහෝදා විශේෂයෙන් සඳහන් කරමි.

බෞද්ධ අධ්‍යාපනය ය යි විශේෂ අධ්‍යාපන ක්‍රමයක් නොවිය හැකි ය. එහෙත් කවර අධ්‍යාපනය ක්‍රමයක් වුවත් හැදීමට මුල් තැන දී කැරෙනවා නම් එය බෞද්ධ අධ්‍යාපනය බව කිව යුතු ය. බුදු රජාණන් වහන්සේ ගුරුවරයාගේ ප්‍රධාන යුතුකම වශයෙන් ප්‍රකාශ කළේ ශිෂ්‍යයන් මනා කොට හික්මවීම යි. මනාකොට ඉගැන්විය යුතු ය යි ප්‍රකාශ කළේ දෙ වැනි අංකයට ය. මේ ලෙසින් සඳහන් කළේ උගත්කමට වඩා මනුෂ්‍යකම උසස් කොට සැලැකූ හෙයිනි.ලංකාවේ පෙර පටන් පැවැතුණේ මෙබඳු වූ හැදීමට මුල් තැන දුන් අධ්‍යාපන ක්‍රමයකි. ඒ නිසා ම උගත්, සිල්වත්, හරි දැකීම් ඇති පුරවැසියන්ගෙන් සිරිලක පිරී පැවැත්තේ ය. කීප වරක් හතුරන් විසින් ගිනිබත් කරනු ලදු ව ඉතිරි ව තිබෙන පොත්වලින් ලක්වැසි ගිහි-පැවිද්දන්ගේ උගත්කමේ ප්‍රමාණය දැනගත හැකි ය. ලොව කිසි ම රටකට දෙවැනි නොවන තරමේ කාර්මික ඥානයකින් ද ලක්වැසියා දියුණු වී සිටි බවට සාධක බොහෝ ය. මේ රටේ ශිෂ්ටාචාරයට ගැළැපෙන අධ්‍යාපනයක් ලැබූ කාලයෙහි ලක්වැසියා උගත්කමින් මෙන් ම ගුණවත්කමින් ද දියුණු ව සිටි බවට ද සාක්ෂ්‍ය බොහෝ ය.

ආරෝග්‍යශාලා පිහිටුවීම ආදි ලෝකයාට ශාන්තිය ගෙන දෙන බොහෝ දේවල් මෙන් ම ලෝකයෙහි පළමු වරට විශ්වවිද්‍යාලය ඇති කළාහු ද බෞද්ධයෝ ම ය. ඒ විශ්වවිද්‍යාලය අතුරෙන් නාලන්දා විශ්වවිද්‍යාලයය ශ්‍රේෂ්ඨතම වෙයි. එහි ශිෂ්‍යයනට ලැබුණේ බෞද්ධ අධ්‍යාපනය යි. එහි නේවාසික ව ශිෂ්‍යයන් දසදහසක් පමණ සිටි බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙහි ඉතිහාසය සොයන්නකුට වැඩි ඈතට නොගොස් ආරම්භය දැකගත හැකි ය. ඒ ආරම්භය පිළිබඳ තොරතුරු නුවණින් විමසා බලන්නකුට මේ අධ්‍යාපන ක්‍රමය හොඳ පරමාර්ථයකින් පටන් නොගන්නා ලද්දක් බව වැටැහෙනවා ඇත.

මේ අධ්‍යාපන ක්‍රමය නිසා ලක්වැසියා ශාස්ත්‍ර ඥානයෙන් හා විද්‍යා ඥානයෙන් ඉහළට දියුණු වී සිටින බව නම් සැබෑ ය. කවර පරමාර්ථයකින් පටන් ගත්තත් එයින් එක් අංශයකින් හෝ ලැබුණු මහත් වූ ප්‍රයෝජනය ගැන සලකා, එය ආරම්භ කළ අය කෙරෙහි කෘතඥ විය යුතු ය.

යම් කිසි ක්‍රියාවක් හොඳ නැති පරමාර්ථයකින් ආරම්භ කළොත් එයින් හොඳ ප්‍රතිඵල ලබාගැනීම ලෙහෙසි නැත. ලංකාවේ අධ්‍යාපනයට වී තිබෙන්නේ ද එය යි. නුවණින් විමසා බලන කෙනකුට ලංකාවේ අධ්‍යාපනයේ පරමාර්ථයන්ගෙන් සමහරක් හැටියට ගිහි- පැවිදි සම්බන්ධය නැති කිරීම, අධ්‍යාපනය පිළිබඳ භික්ෂූන් වහන්සේට හිමි ව තුබුණු තැන නැති කිරීම, ලංකාවේ බෞද්ධ පරිසරය නැති කිරීම, නරක බෞද්ධයන් ඇති කිරීම හා රජයේ සේවයට ලිපිකරුවන් ඇති කිරීම බව ද පෙනෙනවා ඇත. මෙකී කාරණ ඔප්පු කිරීමට ඇති නොයෙක් නිදර්ශන අතුරින් කීපයක් මෙසේ ය:

1807 වැන්නෙහි පෙබරවාරි 28 වැනිදා කොළඹ රජ ගෙදර සිට ටී. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා මාතර ඒජන්ත ඊඩන් මහතාට යවන ලද දිග ලියුමෙහි එක වාසගමක් මෙසේ ය: "... තුන් වැන්න නම් මුදලිවරුන් හා සංඝයාත් අතර විශ්වාසය බ්‍රිතාන්‍ය පාලනයට අහිතිකර නිසා එය නැති කර-දැමීම ය. ඔවුන්ගේ සම්බන්ධය කන්ද උඩරට රජුට වාසියකි. මගේ මේ කීම වටහාගැනීමට පහසු වීම සඳහා සංඝයා ගැනත් විස්තරයක් කරමි. එසේ ම ඔවුන් භේද කරන සැටි ද විස්තර කරමි. ..."

මෙසේ ගිහි-පැවිදි සම්බන්ධය නැති කිරීම සඳහා යෙදූ උපක්‍රමවලින් පන්සල් අධ්‍යාපනය නැති කොට, වෙන පක්‍ෂයකට අධ්‍යාපනය බාරදීම ද එකකි. 1817 දී වෙස්ලියන්වරුන් ස්වභාෂා පාඨශාලා ආරම්භ කෙළේ අධ්‍යාපනික කටයුතු පිළිබඳ බෞද්ධ භික්ෂූන් වහන්සේට හිමි තැන අයත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් බව ඉමර්සන් ටෙනන්ට් මහතා 'ලංකාවේ ක්‍රිස්තියානිය' නමැති පොතෙහි සඳහන් කර ඇත.

මෙසේ ආරම්භ වූ අලුත් අධ්‍යාපනය ගැන සඳහන් කරන කෝපල්ස්ටන් බිෂොප්තුමා, "... ඉගෙනගන්නා බෞද්ධ ශිෂ්‍යයන් අතුරෙන් සියලු දෙනා ම ක්‍රිස්තියානිකාරයන් වෙතී සහතික කළ නොහැකි ය. එහෙත් හොඳ බෞද්ධයන් නොවන බවට නම් සහතික කළ හැකි ය" යි කියා තිබේ.

අද ලංකාවේ පවත්නේ මෙලෙසින් ආරම්භ වූ අධ්‍යාපන ක්‍රමයකි. වරින් වර නොයෙක් කොමිෂන් ඇති කොට අධ්‍යාපන ක්‍රමය සකස් කළ බව සැබෑ ය. එහෙත් මේ රටේ ශිෂ්ටාචාරයට අනුකූල වන පරිදි එය තව මත් සකස් වී නැති බව කිව යුතු ය.

දැනට තිබෙන අධ්‍යාපනයෙන් උගතුන් වැඩි වෙතත් උදාර අදහස් ඇතියවුන් වැඩි වන බවක් පෙනෙන්නට නැත; එසේ ම ආත්මාර්ථකාමීත්වය වැඩි වෙයි; පුනරුත්පත්තියක් විශ්වාස නොකරන සම්‍යග්දෘෂ්ටිකයෝ අඩු වෙති; කෙසේ හෝ මුදල් සපයාගෙන කා-බී විනෝද වී ඉන්ද්‍රියයන් පිනවීම සදහා ජනගහනය වැඩි කරන්නෝ බහුල වෙති; අන්‍යයනට කරදර නොවන සේ ජීවත් වෙමින් රටට, ජාතියට, ආගමට හා භාෂාවට ද වැඩ සැලැසෙන දරු පිරිසක් ඇති කළ යුතු ය යි සිතන්නෝ ද අඩු වෙති.

එපමණක් ද නොව, මේ අධ්‍යාපන ක්‍රමයෙන් රටේ ආර්ථික තත්ත්වය දියුණු වන බවක් හෝ රැකී-රක්ෂා ප්‍රශ්නය විසඳාගැනීමට හැකි බවක් හෝ පෙනෙන්නට නැත; විභාගයකින් සමර්ථ වී ලිපිකාර සේවයට කැමැති වන්නන් සුලබ වන අතර ම ගොවිතැනට වෙළෙඳාමට හා කර්මාන්තවලට පිළිකුල් කරන්නෝ, ලජ්ජා වන්නෝ බහුල වෙති. මේ අතර ම දැන් අධ්‍යාපනය බොහො ම දියුණු ය යි සිතන්නෝ ද වෙති.

යම් කිසි රටක අධ්‍යාපනය දියුණු ය යි කියන්නේ ශිෂ්‍යයාගේ මොළයට ඔරොත්තු නොදෙන තරමේ විෂය මාලාවක් තිබීම හා දෑතට ඔරොත්තු නොදෙන තරමේ පොත් ගොඩක් තිබීම අනුව නම් දැන් අධ්‍යාපනය අතිශයින් ම දියුණු ය යි කිව හැකි ය. එසේ සිතනවා නම් කියනවා නම් එයත් මේ අධ්‍යාපනයේ ම ප්‍රතිඵලයකි.

දියුණු වන අධ්‍යාපනයට දේශපාලන වාදත් ලිංගික අධ්‍යාපනයත් ඇතුළත් කළ යුතු ය යි කියන අතිපණ්ඩිතයෝ ද දැන් බහුල වෙති. ලිංගික අධ්‍යාපනය දෙන්නට ගොස් ස්වීඩන් ආදි රටවල සිදු වූ සදාචාර විනාශය දන්නා මොළේ කලඳක් වත් ඇතියවුන් එය අනුමත නොකරනු ඇත. දැනට උගන්වන ප්‍රජාචාරයට අතිරේක ව විවිධ දේශපාලන වාද අපේ ළමයිනට උගන්වන්නට ගියොත් දැනට පවත්නා විදියේ ලේ වගුරුවන විප්ලව නිතර ම ඇති වන්නට ඉඩ ඇත. හැදෙන පරපුරට නපුරු විප්ලව අදහස් දීමේ වරද දැන් වත් තේරුම් ගත යුතු වේ.

කරුණු මෙසේ හෙයින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයත් වෙනත් අධ්‍යාපන ක්‍රමත් හොඳින් සලකා බලා, මේ රටේ ශිෂ්ටාචාරයට හා ජීවනෝපායයට ද ගැළැපෙන පරිදි ජාති භේද, ආගම් භේදවලින් තොර ව සාමයෙන් ජීවත් වීමට හැකි වන අයුරින් දැනට පවත්නා අධ්‍යාපනය සකස් නොකළොත් අනාගතය මීටත් වඩා අන්තරායදායක වනවා ඇත.

- See more at: http://www.namaskara.lk/

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+