ආඝාත පටිවිනය සුත්‍රය

 


ඕනෑම නරක දෙයකින් වළකින්නට අපි එහි තිබෙන ආදීනව දකින්න ඕන. ඒවගේම තරහ කියන්නෙත් නරක දෙයක් කියා අපි තේරුම් ගන්න ඕන.
එය තමන්ගේ ආධ්‍යාත්මික සහ භෞතික ජීවිතය නැතිකරන බරපතල නරක සිතිවිල්ල කියලා තේරුම් ගන්න ඕනෑ. ඒකෙ තිබෙන නරක පැත්ත දකින විට අපට තරහ ඉවත් කරගන්න පුළුවන්
තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලයේ මේ දේශනාව වදාළා. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයට අයත්. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා "පින්වත් මහණෙනි, සිතෙහි ඇතිවන ආඝාතය නැවැත්වීම සදහා උපකාරි වන ආඝාත පටිවිනය පහක් තිබෙනවා. ඒ කරුණු හොඳින් ඉගෙන ගෙන, ධාරණය කරගෙන මතක තබා ගෙන ඒ අනුව තමන්ගේ ආඝාතය නවත්වා ගන්න මහන්සි වන ලෙස වදාළා.
ආඝාත යනු තරහ ගතියට කියන නමක්. පටි කියන්නේ නැවත නැවත කියන අර්ථයයි. විනය කියන්නේ හික්මවීමයි. යම් තැනක යම් කෙනෙක් කෙරෙහි හට ගන්නා වූ තරහ නැති කරන හැටි කියාදෙන ආකාරය තමයි ආඝාත පටිවිනය කියන්නේ.
මේ වාගේ ආඝාත හෙවත් තරහ යෑම් නවයක් තිබෙනවා. අසවලා මට අනර්ථය කළා කියලා අතීතය ගැන හිතලා කවුරු හරි තරහා ගන්නවා. මේ පුද්ගලයා අපට බැනලා තියෙනවා. ගහලා තියෙනවා. ආදි වශයෙන් අතීතයේ දී ගහපුවා බැනපුවා ගැන මතක් කරමින් තරහා ගන්නවා. අවුරුදු ගණන් ඉස්සර බැනපුවා සමහරු හිතේ තියාගෙන ඉන්නේ ඒ නිසයි. එහෙම හිතේ තියාගෙන සිහි කරන්න සිහි කරන්න අපට තරහ එනවා. අසවලා මට අතීතයේදී අනර්ථය කළා. දැන් කරන්නෙත් අනර්ථයමයි. අනාගතයේදීත් මට අනර්ථය කරාවි කියලා හිතන හැම මොහොතකම මට කරදර කරාවි කියලා හිතන හැම මොහොතකම අපට තරහ එනවා. මේ ආකාරයට අතීත වර්තමාන අනාගත කියන කාල තුනකදී තරහ යෑම් හෙවත් ආඝාත සිදුවෙනවා.
ඕනෑම නරක දෙයකින් වළකින්නට අපි එහි තිබෙන ආදීනව දකින්න ඕන. ඒවගේම තරහ කියන්නෙත් නරක දෙයක් කියා අපි තේරුම් ගන්න ඕන. එය තමන්ගේ ආධ්‍යාත්මික සහ භෞතික ජීවිතය නැතිකරන බරපතල නරක සිතිවිල්ල කියලා තේරුම් ගන්න ඕනෑ. ඒකෙ තිබෙන නරක පැත්ත දකින විට අපට තරහ ඉවත් කරගන්න පුළුවන්. ඒනිසා කිසිම වෙලාවක තරහ ආවිට එයට වටිනාකමක් දෙන්න එපා. අපේ සිතේ තරහා ඇතිවන්නේ කැමැති දේ නොලැබීමත් අකැමැති දේ ලැබීමත් නිසාය.
සැරියුත් හිමියන් වාදාළ දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ සඳහන් වෙනවා ඇවැත්නි මේ ඇති වන්නා වූ තරහ නැතිකර ගැනීමට ක්‍රම පහක් තියෙනවා . ඒ තමයි තමා තරහ ගත් පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් හොඳ නැහැ. නමුත් වචනය බොහොම හොඳයි. සංවරයි. ප්‍රාණ ඝාතය, අන්සතු දේ ගැනීම, කාම මිථ්‍යාචාරය, මත්පැන් පානය කරනවා. නමුත් වචනය යහයත්.
දෙවැනි කොටස තමයි ඒ අයගේ වචනය අයහපත්. පි‍්‍රයශීලි නැහැ. නමුත් ක්‍රියාව හොඳයි. වචනයේ නො හික්මුණකම සංසාරයට බලපාන කාරණයක් බවටත් පත් වෙන්නත් පුළුවන්.
ඒ වගේම තවත් පිරිසක් අප අතර සිටිනවා. ඒ අයගේ වචනත් හොඳ නැහැ. ක්‍රියාත් හොඳ නැහැ. නමුත් ඔවුන් ඉඳහිට හොඳ සිතිවිල්ලක් ඇතිකර ගන්නවා. ඔවුන් සත්ව ඝාතනය කරන හොරකම් කරන, කාමය වරදවා හැසිරෙන, මධ්‍යසාර භාවිත කරන, කේලාම් කියන, හිස්වචන ඵරුෂ පවසන සම්ප්‍රප්පලාප කතා කරනවා. නමුත් ඉඳහිට හොඳ සිතිවිලි පහළ වෙනවා.
හතරවැනි පිරිස තමයි මේ පුද්ගලයන්ගේ කථාවත් හොඳ නැහැ. ක්‍රියාවත් හොඳ නැහැ. ඉඳහිටවත් ඔවුන්ට පින් සිතිවිලි ඇතිවන්නෙත් නැහැ. නිතරම අනුන්ට කරදර කරන පීඩා කරන මානසිකත්වයක තමයි ඔවුන් ඉන්නේ. මෙහෙම පිරිස දැක්කම අපට කේන්ති එනවා. නමුත් තථාගතයන් වහන්සේ වදාළා එහෙම පුද්ගලයෙක් හෝ මුණ ගැසුනාම ඔහුගේ කිසියම් හොඳක් නැත්නම් ඔහුට අනුකම්පා කරන්න කියනවා. ඔහු සමග ගැටෙන්නට යන්න එපා පැටලෙන්න එපා යැයි වදාළා.
ඊළඟ පිරිස තමයි කාය සංවරයත් වචී සංවරයත් හොඳයි. ඒ වගේම හිතන පිළිවෙලත් හොඳයි. මේ ආකාරයට කෙනෙක් පිළිබඳව සිතන්නට හොඳ දේවල් තිබෙද්දී අපි නරක නොසිතිය යුතුයි. අපේ සිතේ ඇතිවන තරහ පාලනය කර ගන්නට තථාගතයන් වහන්සේ අපට වදාළා මහණෙනි, යම් පුද්ගලයෙක් සමග තරහක් ඇති වුවොත් ඒ පුද්ගයා කෙරෙහි මෛත්‍රිය උපදවා ගන්න. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයටයි. මිත්‍රත්වය කියන්නේ යාළුකමටයි. අප මුලින්ම අප සමග මිතුරු විය යුතුයි.
දෙවැනි කරුණ තමයි යම් කෙනෙක් සමග තරහක් ඇතිවුණාම කරුණාව උපදවා ගන්න ඕන. කරුණාව කියන්නේ යමෙක් දුකට පත්වූ විට පිහිටවීම කරුණාවයි. දුකට පත් වුණාම පිහිට වන්නේ අර තැනැත්තාව දුකෙන් මුදවන්නයි.
තුන්වැනි කාරණය යම් පුද්ගලයෙක් ගේ ක්‍රියාකාරකම් තුළ අපට තරහක් ඇති වෙනවා නම් උපේක්ෂාව දියුණු කරන්න ඕනෑ. උපේක්ෂාව නම් මධ්‍යස්ථභාවයයි. කාගේ හරි වැරැද්දක් නිසා තරහ ඇවිස්සිලා එනවා නම් එතැනදී අපි මධ්‍යස්ථ වෙන්න ඕනෑ. මේ බැණුම අහන පළමුවැනි පුද්ගලයා මම නොවෙයි. තුන් ලෝකයක් දිණු තථාගතයන් වහන්සේට මිනිසුන් බැන්නා නම් කෙලෙස් සහිතව ඉන්නට මට බණින එක පුදුමයක් නොවෙයි කියා සිතන්නට ඕනෑ.
හතරවැනියට වදාළා මහණෙනි, අපට යම් කෙනෙක් සමග තරහක් ආවොත් අසති අමනසිකාරය පුරුදු කරන්න කියලා. අසති නම් සිහි නො කිරීමයි. යම් කාරණයක් ගැන මෙනෙහි නොකිරීමයි. ඒ ගැන නො සිතීමයි. එය අමතක කර දැමීමයි. ඒක නරක දෙයක් නම් තරහ ගියේ ඒ නරක දේ නිසා නම් ඒ නරක දේ අමතක කරලා හොඳ දෙයක් ගැන හිතන්න ඕනෑ. ඒ අරමුණ මාරු කරන්න ඕනෑ. කවුරු හරි බැන්න නිසා නම් තරහ ගියේ ඔහුගේ තිබෙන එක් ගුණයක් හෝ මෙනෙහි කරන්න ඕනෑ.එහෙත් අරමුණු මාරු කරන විට වෙන දෙයක් හිතනකොට තමන්ට ඇතිවුණු තරහ අඩුකරන්න පුළුවන්.
තථාගතයන් වහන්සේ පස්වැනි කාරණය ලෙස වදාළා යම් කෙනෙක් සමඟ තරහ ඇතිවුණොත් කර්මයේ ස්වකීයත්වය ගැන කල්පනා කරන්න ඕනෑ. කවුරුන් හෝ හොඳ හෝ නරක කර්මයක් කළොත් ඒ කර්මයෙහි උරුමක්කාරයා වෙනවා. මොහු මට බැනලා යම් කර්මයක් කර ගත්තා. ඒක එයාට විපාක ලෙස විඳීන්න සිදුවෙයි. මම මෙයත් එක්ක ගැටිලා කර්ම සකස් කර ගතයුතු නැහැ කියල හිතන්න ඕනෑ. මේ ආකාරයට අපේ සිතේ ඇතිවන තරහ පාලනය කරගෙන අලුත් විපාක තමාගේ් ජීවිතයට එකතු නො කර ගෙන සිටීමට අප සියලු දෙනාමට මේ සූත්‍ර දේශනාව උපනිශ්‍රය වේවා.
තෙරුවන් සරණයි!
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
ධර්ම දානය : Path to Nirvana


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+