ඇසළ පෝය





වෙසක් සඳ අහසේ උදාවෙන විට සම්මා සම්බුදුවරයෙකු පිළිබඳ ශ්‍රේෂ්ඨතම ඓතිහාසික සිද්ධීන් රැසක් අප ගේ මනසට නැගී එයි. පොසොන් සඳ අහසේ උදාවෙන විට අනුබුදුවරයෙකු පිළිබඳ සටහන් අප ගේ මතකයට නැගී එයි. ඇසළ සඳ අහසේ උදාවෙන විට සත්‍යගවේෂී විමුක්තිගාමී ලෝකයාට සාර්වභෞම නිදහස උදාවුණු තෙරුවන් ලොව පහළවුණු දිනය වශයෙන් අප ගේ සිතට සිහිපත් වෙයි.
බුදු දහම නැමැති මිණි පහනදැල් වී එයින් ලෝකය ආලෝක වූ සැටි, බුද්ධ ශාසන රත්නාකාරය මතු වී සසුන් ගුණ රුවනින් තුන් ලොව සැනසී ගිය හැටි, බුදුහිමි මුව ගැබින් වැගිර ගලා ගිය දහම් අමා වහරින් මුළු ලොව තෙමී දුක් ගිනි නිවී සැනහී ගිය සැටි, උතුරු මිනිස් දම් පෙළහරින් තුන් ලොව ශාන්ත වී ගිය සැටි, මිනිස්, දෙව්, බඹුන් ගේ සාධු නාදයෙන් මුළු මහත් මිගදාය උතුරා ගලා ගිය සැටි, බුදුරැස් දහරින් බරණැස ඉසිපතනය නැහැවී ගිය සැටි, කාෂාය වස්ත්‍රයෙන් මිගදාය නම් අපරාජිත ශුද්ධ භූමිය බැබළී ගිය සැටි, ආසියා ලෝකයේ කැලුම් දහරා විහිදී පැතිරී ගිය සැටි දෙදහස් පන්සිය හැත්තෑ හත්වන වරටත් අපහට සිහිපත් කරවයි.
ලෝකයාට සම්‍යක් දර්ශනය පහළවුණු දර්ශනය පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. දෙසැටක් මිසදිටු නැමැති දැලෙහි පැටලී නනාප්‍රකාර අත්තකිලමථානු යෝග ක්‍රමවල හා කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවල ද ගැලී සිටි ලෝකයාට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගයක් දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි.
ලෝකයාත් සත්ත්වයාත් හේතු ප්‍රත්‍යයන් ගෙන් උපන් බව දේශනා කරමින් හේතු ඵල වාදය අනුගමනය කළ න්‍යායවාදී ශාස්තෘවරයාණන්ගේ උත්තරීතර ධර්මය ලොව පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි. සම්බුද්ධ දිවාකරයාණන්ගෙන් නිකුත් වූ සදහම් අමා බෙර හඬ ආසියා ලෝකයේ කැලුම් වැදී ඒකාලෝක වූ දිනය ඇසළ පුනු පොහෝදා යි.
දුකත් – දුකට හේතුවත් – නිවනත්, එය - ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි. විශාලතම සමාජ විපර්යාසයක්, බුද්ධි විප්ලවයක්, ආගමික උද්‍යෝගයක්, චින්තන ප්‍රබෝධයක් ඇති කළ දිනය ඇසළ පුනු පොහෝදා යි, ශාස්වත දෘෂ්ටිය හා උච්ඡේද දෘෂ්ටිය යන දෘෂ්ටිවාද දෙක පරම නිෂ්ඨාව වශයෙන් සලකා ගෙනක සිටි ලෝකයාට යථාභූත ඤාණ දස්සනය පහළ වූයේ ඇසළ පුනු පොහෝදා යි.
ශ්‍රේෂ්ඨ සිද්ධීන් රැසක්
වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍යදේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එකුන් තිස් වියේ දී ලෙඩෙකු මහල්ලෙකු මළ මිනියක් මහණ රුවක් යන සිවු පෙරනිමිති දැක ගිහිගෙය කළකිරී අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.
බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සුපගමනය බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බුදුරදුන් ගණ්ඩබ්බ රුක්මල්හි දී තීර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත් වැනි වස ගත කිරීමට තව්තිසා දෙව් ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුනු පොහෝ දිනයක දී ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කෙට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු. ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුනු පොහෝ දිනයක ය.
බු. ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් සපනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු. ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ඨක චෙතිය වටා කර වූ අට සැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයක ය. බු. ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මඟුල් ගල්තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුනුපොහෝ දිනයක ය.
එසේ ම උතුරු සළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාය¸ මැද සිදුවූයේ ඇසළ පුනු පොහෝ දිනයක ය. බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුනු පොහෝ දිනයකය.
විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිඳුම් ලබන නාථ - ස්කන්ධ – කුමාර – පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනුපිණිස ඈත අතීතයේ සිට ම මහනුවර - ශ්‍රී ජයවර්ධන පුර - අලුත් නුවර - නවගමුව – දෙවුන්දර - රත්නපුරය - කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වන දේව පූජා පෙරහර සිදු කරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රේෂඨ දිනයක් වශයෙන් මේ දවස සැලකිය හැකි ය.
බුදුරජාණන් වහන්සේ අටළොස් යොදුන් මග ගෙවා බුද්ධත්වයෙන් සැට දවසක් සම්පූර්ණ වූ ඇසළ මස පුර පසළොස්වක් දිනයෙහි බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි පස්වග මහණුන් වෙත වැඩි සේක. බුදුරදුන් වඩිනු දුටු පස්වග මහණහු මෙසේ කතිකා කර ගත්හ. "ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ප්‍රධන්වීර්ය අත්හැර මධුර වූ ආහාර අනුභව කොට කය මැනවින් සතප්පවා ගෙන බුදු විය නොහී අපකරා පැමිණේ. අප ඔහුට නොවැඳිය යුතු ය. උවටැන් නො කළ යුතු ය.
පා සිවුරු නො පිළිගත යුතු ය. පෙර ගමන් නො කට යුතු ය. දැක හුනස්නෙන් නො නැගිටිය යුතු ය. එසේ නමුත් රජ කුලයෙහි උපන් හෙයින් කැමැති නම් හිඳගනු පිණිස අසුනක් දිය යුතු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වෙත එළඹෙත් ම ඔවුනට ස්වකීය කතිකාවන් හි සිටින්නට නො හැකි විය. එක් තවුසෙක් පෙර ගමන් කොට පා සිවුරු පිළිගත්තේ ය. එක් තවුසෙක් අසුනක් පැණවීය. එක් තවුසෙක් පා දෝනා දිය ආදිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අසුනෙහි වැඩ හුන් ය.
බුදුරදුන් කථා කළ කල්හි පස්වග මහණහු "ආවුසො" (ඇවැත්නි) වාදයෙන් බුදුන් වහන්සේ ඇමතූහ. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය අවබෝධ කළ බැවින් "ආවුසො" යි ආමන්ත්‍රණය නො කරන ලෙස ඔවුනට තුන් යළ දක්වා ප්‍රකාශ කොට තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බැව් හැඟ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය පිළිගත් පස්වග තවුසෝ දහම් අසන්නට කන් යොමු කළ හ.
ධර්මචක්‍ර සූත්‍ර සාරය
සහම්පතී මහා බ්‍රහ්ම රාජයා ගේ ආරාධනා පිළිගත් බුදුහු බුද්ධත්වයෙන් මාස දෙකක් සම්පූර්ණ වුණු ඇසළ මස පුන් පොහෝදා බරනැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් ප්‍රධාන කොට ඇති දස දහසක් සක්වලින් පැමිණි දෙව් බඹ පිරිස් මැද ධම්ම චක්ක සූත්‍රය දේශනා කළ සේක. අන්තද්වය – මධ්‍යම ප්‍රතිපදාව - චතුරාය¸ සත්‍යය - ත්‍රිපරිවෘත්තය - හා ද්වාදශාකාරය යන මේ කරුණු මෙහි ඇතුළත් වේ. ධම්ම චක්ක සූත්‍රය සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයට අයත් ;දවන වර්ගයේ ප්‍රථම සූත්‍රය යි. සකල බුද්ධ ධර්මය සංක්ෂිප්තව සංගෘහිත වන හෙයින් එය ධම්ම චක්ක නමින් ව්‍යවහාර වෙයි.

උපසම්පදාව ගෙන ඒම
ලක්දිව පිරිසිඳු උපසම්පදාව ඇති භික්ෂූන් වහන්සේලා නැති බව දුටු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටේ අයෝධ්‍ය පුරයේ ධාර්මික නම් රජතුමා වෙත පඬුරු හා සන්දේශ දී ඇමතියන් අයෝධ්‍ය පුරයට යැව්වේ ය. සියම් රජතුමා ඒ බලා ලංකාවේ ශාසන තත්ත්වය ගැන කම්පාවට පත් ව සියම් රටේ සංඝ රාජයන් වහන්සේ ප්‍රධාන ධර්ම විනයධර හිමිවරුන් රැස් කරවා සාකච්ඡා කොට උපාලි ස්ථවිර ප්‍රමුඛ අතිරේක දස වර්ගික සංඝයා ද ලක්දිව නැති ධර්ම විනය පොත් ද රන් පිළිමයක් හා රන් පොතක් ද ලක් රජු වෙත එවී ය. අයෝධ්‍ය පුරයෙහි රාජ්‍යාමාත්‍යයෝ කීප දෙනෙක් ද ඒ සමඟ පැමිණිය හ.
එම පිරිස පිළිගත් රජතුමා මල්වත්තේ පුෂ්පාරාමයට සියමින් වැඩම කළ උපාලි අරිය මුනි යන මහතෙරුන් වහන්සේලා ඇතුළු සංඝයා වැඩමවා ගෙන ගොස් වඩා හිඳුවා බුද්ධ වර්ෂ දෙදහස් දෙසිය අනුහය වැන්නෙහි ඇසළ පුනු පොහෝදා ලක්දිව සාමණේර හිමිවරුන්හට උපසම්පදාව දෙවී ය.
මාපලගම සෝමිස්සර හිමි

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+