මුගලන් මහ රහතන් වහන්සේ






නමො තස්ස භගවතො අරහතොසම්මා සම්බුද්ධස්ස
.
වෙදනං ඵරුසං ජානිං
සරීරස්සච භෙදනං
ගරුකං වා පි ආබාධං
චිත්තක්ඛෙපං ව පාපුනෙ
රාජතොවා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං
භොගානං ව පභංගුරං
අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤො
නිරයං සොපපජ්ජති
සුපින්වතුනි,
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත දැක්වෙන ගාථා තුන සඳහන් වන්නේ බෞද්ධයාගේ අත්පොත ලෙස සලකනු ලබන ධම්මපදයේ දණ්ඩ වර්ගයේය. මෙම ගාථා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ නිමිති කරගෙනය.
මුගලන් මහ රහතන් වහන්සේ අප කවුරුත් දැනගෙන තිබෙන පරිදි ඍද්ධිමතුන් වහන්සේ අතර අග තැන්පත් මහ රහතන් වහන්සේය. උන්වහන්සේ දිව්‍යලෝකයට වැඩම කර, පින් කළ අය දිව සැප විඳින ආකාරය විමසා දැන ඒ තොරතුරු ජනතාවට පවසමින් ඔවුන්ගේ සිත් කුසලයට යොමු කරවන සේක. ඒ නිසා අන්‍යාගමිකයෝ පවා බුදුදහම ගැන පැහැදීමට පත්වුනා . අන්‍ය තිර්ථකයෝ මේ නිසා මුගලන් මහ තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ උන්වහන්සේ විනාශ කර දැමීමට සූදානම් වූනා.
තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්‍රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.
ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.
මේ පුවත දැන ගැනීමට ලැබීමෙන් මගධාධිපති අජාසත් රජතුමා චරපුරුෂයින් මෙහෙයවීමෙන් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. එම සිද්ධියට සම්බන්ධ අන්‍ය තීර්ථකයන් පන්සියයක් ද මැර කණ්ඩායමේ පන්සිය දෙනෙකුද වධ දී මරා දැමුවා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.
පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. ( බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+