‘මානව ශිෂ්ටාචාරය අනතුරේ‘

'අද ලෝකයේ ජීවත් වනජීවි විශේෂ බෝහෝමයක් අපටත් නොදැනීම මාරයා ඉදිරියට යමින් සිටින්නේ'.ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් එහ්ර්ලිච් වරක් පැවසීය. මේ තත්ත්වය හරියට අපි අපේම කකුලක් කපාගන්නවා වගේ' ඔහු වැඩිදුරටත් කීය.
ඔහු කතා කරමින් සිටියේ 6 වැනි මහා නෂ්ඨ වීම ගැනය.මේ ලියන මොහොතේදීත් එය සිදුවෙමින් පවතින අතර ජීවි විශේෂ දහස් ගණනක් නැවත නොදැකිය හැකිවන පරිදි පෘථිවිය මතින් තුරන්ව යමින් පවතී. ඇත්තතෙන්ම මේ ගැන කරුණු සඳහන්වූ පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් ස්ටැන්ෆර්ඩ්, පි‍්‍රන්ස්ටන්,කැලිෆෝර්නියා බර්ක්ලි ආදී විශ්වවිද්‍යාල වල පර්යේෂණ කටයුතු වල නිතරව සිටින මහාචාර්ය එහ්ර්ලිච් වැන්නෝ 6 වැනි නෂ්ඨ වීම පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ලොවට මුලින්ම ඉදිරිපත් කළ අය වෙති.
ජීවීන් නෂ්ඨ වීම ස්වභාවික කි‍්‍රයාවලියකි. ස්වභාවධර්මය ඉන් අරමුණු කරනුයේ දැනට සිටින ජීවීන් ඉවත් කර ඔවුන් ජීවත් වෙමින් සිටි පරිසරයට වඩා හොදින් හැඩගැසිය හැකි,එම පරිසරයෙන් හොදින් ප‍්‍රයෝජන ලබාගත හැකි නව ජීවී විශේෂ හදුන්වාදීමය. මෙම කි‍්‍රයාවලිය ඉතාම සෙමින් සිදුවන්නක් වන අතර පොසිල වාර්තා වලට අනුව කොඳු ඇට පෙළක් හිමි සතුන් එනම් කෂේරුකයින් අතර සිදුවන නෂ්ඨවීම සැළකුව හොත් වසර සියයකට වරක් ජීවී විශේෂ දසදහසක් අතුරින් වියැකී යන්නේ එක් ජීවි විශේෂයක් පමණකි.මේ බව දැනම එහ්ල්රිච් හා ඔහුගේ පිරිවර ජීවීන් නෂ්ඨ වීමේ වේගය මීට වඩා දෙගුණයක් වේගයෙන් සිදුවන්නේය. උපකල්පනය කර පර්යේෂණයක් සිදුකර තිබෙන අතර ඉන් ලැබී තිබෙන ප‍්‍රතිඵල භයංකරය.
සයන්ස් ඇඩ්වාන්සස් හි මෙම මස ඔවුන් පළකර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව කෂේරුකයින් එනම් ක්ෂීරපායින්, පක්ෂීය්, උරගයින් හා මසුන් වැනි සතුන් සාමාන්‍ය අගයට වඩා 114 ගුණයක ඉතාම අවදානම් සහගත වේගයකින් නෂ්ඨව යමින් තිබේ. පසුගිය වසරේ ඩියුක් සරසවියේ මහාචාර්ය ස්ටුවර්ට් පිම් මේ සම්බන්ධයෙන්ම සිදුකළ පර්යේෂණයකින් ශාඛ හා සතුන් යන දෙකොට්ඨාශයම සාමාන්‍ය වේගයට වඩා දහස් ගුණයක වේගයෙන් නෂ්ඨව යමින් පවතින බව ඇස්තමේන්තු ගතකළේය.
'අප 6 වැනි නෂ්ඨ වීමට ඇතුල්වෙමින් සිටින්නේ' මෙක්සිකෝවේ අවුටොනෝමා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ ප‍්‍රධානී ගෙරාර්ඩෝ සෙබලෝස් පවසයි. මෙය දිගින් දිගටම සිදුවීමට ඉඩ හැරියොතින් සියල්ල නැවත යථා තත්ත්වයට පත් වීමට වසර දසලක්ෂ ගණනක් ගතවේවි. මිනිසුන් වන අපිවත් හිතනවාට වඩා ඉක්මනින් නෂ්ඨවී යන ලකුණුයි තිබෙන්නේ'. ඔහු කියයි.
පිළිගත් ජීව විද්‍යාඥයෙක් වන හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ඊ. ඕ විල්සන්ද වසර 2100 වන විට පෘථිවිය මත සිටින ප‍්‍රබල ජීවි විශේෂ වලින් අඩක් පමණම නෂ්ඨ වී යනු ඇතැයි මත පළකර තිබේ.
පෘථිවි ඉතිහාසයේ මහා නෂ්ඨ වීම් 5 ක සටහන් තිබෙන අතර එම එක් එක් නෂ්ඨ වීමකදී එම සමයේ පෘථිවිය මත ජීවත්වූ ජීවි විශේෂ හරි අඩක් පමණම පෘථිවිය මතින් අතුගෑවී ගියේය. එම නෂ්ඨ වීම් අතුරින් 4 ක්ම සිදුවීමට ප‍්‍රධාන හේතුව වූයේ වසර දහස් ගණනක් මුළුල්ලේ සිදුවූ ගිනි කඳු පිපිරීම් නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම බව සැළකෙන්නකි.
උෂ්ණත්වය ඉහළයෑම නිසා කල් ගතවීමේදී පෘථිවියේ ගැඹුරු මුහුදු සම්පූර්ණයෙන්ම ඔක්සිජන් වලින් තොරවූ අතර එය මුහුදු පතුලේ මඩ යට සැඟව සිටි සල්ෆර් බැක්ටීරියාවන්ට තවදුරටත් සැඟව නොසිට පිටතට පැමිනෙන්නැයි කළ ආරාධනාවක් වැනි විය. එසේ පැමිණෙන අතරතුරදී සල්ෆර් මුක්ත කිරීමෙන් එම බැක්ටීරියාවන් ස්වසනය සදහා ඔක්සිජන් භාවිතා කළ මුහුදේ සිටි සියලූ විශේෂ වල ජීවීන්ට මරණය අත්කර දුනි.අවසානයේ මුහුද මතුපිටට පැමිණි පසුවද මොවුන්ගෙන් ලෝකයට ගැලවීමක් නොතිබුණ අතර බැක්ටීරියාවන් මහා පරිමාණයෙන් හයිඩ‍්‍රජන් සල්ෆයිඩ් වායුව පිට කරන්නට වීම නිසා  ඕසෝන් ස්ථරයේ විනාශය ද සමඟ වාතය විෂ වීමෙන් පෘථිවිය මත ජීවත්ව සිටි ලක්ෂ ගණනක ජීවීන්ගේ මරණයද සිදුවුණි.
මෑත සමයේ එනම් මීට වසර ලක්ෂ 650 කට ඉහත කි‍්‍රටේසීය යුගයේදී සිදුවූ පස්වන මහා නෂ්ඨවීම සම්පූර්ණයෙන්ම වෙනස් හේතුවක් නිසා සිදුවූවකි. පෘථිවිය මතට කඩාවැටුණු දැවැන්ත ඇස්ටරොයිඩයක් ඇවිස්සූ මහා දුහුවිලි වලාව වසර ගණනාවක් පුරාවට අහස වසාගෙන සිටීම නිසා එම සමයේදී සූර්යාලෝකය බිඳකටවත් පොළවට පතනය වීමට අවස්ථාවක් නොතිබුණි. මුලින්ම ශාකවල මරණය සිදුවූ අතර පසුව සතුන්ද එම පාරේම ගියේය.
දැන් සිදුවෙමින් පවතින 6 වැනි මහා නෂ්ඨ වීම පෙර අවස්ථා මෙන් ස්වභාවික හේතූන් නිසා සිදුනොවන්නකි.ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නෝ මිනිසුන් වන අපය.
මිනිස් අප විනාශ වන්නේ අපගේම සාර්ථකත්වය නිසා යැයි කීමේ වරදක් නැත.මුළු ජෛවගෝලයම සිටින්නේ අපත් සමඟම විනාශය කරා යමින්ය. 1800 වසරේ පෘථිවියේ ජනග්‍රහණය බිලියනයක් පමණ විය. අද වන විට එය බිලියන හත හමාරක් පමණය. ජනග්‍රහණය බිලියන 10 - 11 අතර අගයකට පත්වීමට දැනට තිබෙන වාතාවරණය අනුව ගතවනු ඇත්තේ තවත් වසර කිහිපයකි. ජෛවගෝලයේ හොඳම සම්පත් අතරින් වැඩි කොටස වෙන්කරගෙන නගර, ගොවිපල, වගාබිම් ආදිය පිහිටුවමින් සිටින්නේ අපය. අපගේ කි‍්‍රයාකාකරම් ඉදිරියේ අනෙක් ජීවීන්ට ජෛවගෝලයේ ඔවුන්ටත් හිමි අයිතිය භුක්තිවිදීමට වැඩි ඉඩක් නොමැත.
අප සිටින්නේ අපට අවැසි පරිදි එම ජීවීන් හසුරවමින්ය. ප‍්‍රයෝජනයක් ඇතැයි සිතුනහොත් අප ඔවුන්ව ගාල්කරවයි. විනෝදයක් ලබාගැනීමට අවැසි වුවහොත් අපගේ දඩයම වන්නේද ඔවුන්ය. ඔවුන්ගේ වාසස්ථාන එකින් එක විනාශ වෙමින් පවතී. සයුරේ වෙසෙන ජීවීන්ටත් ගැලවීමක් නොමැත්තේ ආහාරයට ගත හැකි මසුන් හා වෙනත් සත්ත්ව විශේෂ එකක් නෑර මිනිස් අපගේ පරිභෝජනය සඳහා අල්ලා ගැනෙමින් තිබෙන බැවින්ය. මස් සඳහා වන අපගේ රුචියද දිනෙන් දිනම වැඩිවනවා මිස අඩුවීමක් නැත. අප පිනවීමට කවාපොවා වර්ධනය කරවන සතුන් වෙනුවෙන් වෙනම ආහාර සැපයීමට ධාන්‍ය වගාවන් සිදුකෙරෙමින් පවතිනුයේ වන වැස්ම විනාශ කර පාදා ගන්නා විසල් බිම් වලය. මෙම ධාන්‍ය මසට මරා දැමෙන සතුන්ට නොව ආහාර ලෙස මිනිසුන්ටම භාවිතයට ගතහැකිවා නොවේද?
ඉදිරියට අපට මුහුණ දීමට සිදුවන ලකුණු පහළව තිබෙන තවත් ව්‍යසනයක් වන්නේ පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑමය.අප ඇත්තටම ඉන්නේ අපාය බලා යන ගමනකය. ගමන් අත වෙනස් කරගන්නේ කෙසේදැයි සැබැවින්ම ගැටලූවකි.
පෘථිවි උෂ්ණත්වය ඉහළ කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ ගැලවීම වෙනුවෙන් ගත හැකි පහසුම පියවර වේ. මක්නිසාද යත් අපට කරන්න ඇත්තේ පොසිල ඉන්ධන දහනය කිරීම අත්හැර දමා කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට එක්කිරීම සිමා කිරීමට කටයුතු කිරීම පමණක් වන හෙයින්ය.මෙය කියන්නට පහසු නමුත් කරන්නට අපහසු වැඩකි.නමුත් හොඳින් සිතට ගෙන කටයුතු කළහොත් එම අපහසුතා නිසැකයෙන්ම මගහරවා ගත හැකිය.
පරිසරයේ පැවැත්මට හේතුවන ජීවීන් අතර ඇති විවිධත්වය එලෙසම පවත්වාගැනීම මීට වඩා බැරුම් කාර්යභාරයකි. එයට හේතුව වන්නේ එක් එක් ජීවි විශේෂ අතර තිබෙන අන්තර්සබදතා මකුලූ දැලක් මෙන් විවිධ දිශාවන්ට විහිද තිබීමය.මේ නිසා කුමන ජීවි විශේෂය ආරක්ෂා කළ යුතුද යන්න ගැටලූවකි. ගත හැකි හොඳම පියවර වන්නේ කෘෂිකර්මයට යැයි අප වෙන්කරගෙන සිටිනා බිම් කොටස් අතරින් හතරෙන් එකක් පමණවත් ඒවා තිබූ ස්වභාවික තත්ත්වයටම පත්වන්නට ඉඩහැරීමය. අනෙක ආහාර සදහා මසුන් දඩයම් කිරීම සීමා කිරීමය.
එක් පසෙකින් මෙසේ සීමා පනවාගනිමින් අනෙක් පසින් දිනෙන් දින වැඩිවන ජනග්‍රහණයට ආහාර සැපයීම විශාල අභියෝගයක් බව ඇත්තය. නමුත් එම අභියෝගය භාර ගැනීම හැර වෙනත් විකල්පයක් අපට නොමැත.තිබෙන්නේද එකම විකල්පයක් වන අතර තෝරා ගතහොත් එය ගෙන දෙනු ඇත්තේ භයංකර ප‍්‍රතිවිපාකයන්ය. ලේඛක ජේම්ස් ලව්ලොක් ද රිවෙන්ජ් ඔෆ් ගයියා නම් තම ග‍්‍රන්ථයේ එය මෙසේ සටහන් කර ඇත.
'මේ විදිහටම වැඩකරගෙන ගියොත් අපේ ඉදිරි පරම්පරාවලට අප මේ දකින ලස්සන ලෝකය දැකගන්නට හැකියාවක් නැති වේවි. මානව ශිෂ්ටාචාරයම තිබෙන්නේ අනතුරේ. මොන බාධක ආවත් තමන්ගේ වර්ගයා පතුරුවාගන්න මිනිසුන්ට හැකියාව තිබේවි.ඒක ඇත්ත.නමුත් මේ සිදුවෙමින් පවතින වෙනස්කම් එක්ක බලද්දී අපේ මේ බිලියන ගණනක ජනතාවගෙන් අන්තිමට කී දෙනෙක් ඉතිරිවේවිද කියන එක ගැටලූවක්.' (ගුවෙයින් ඩයර්)
ලෝක විනාශය බුදු ඇසින්
රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.
ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.
මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.
මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.
මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.
තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.
මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.
මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)
මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.
මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.
මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.
මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.
මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.
from : http://www.lankadeepa.lk/

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+