(බොහෝ සිංහල බෞද්ධයින් විසින් උසස් ලෙස සලකන දුටුගැමුණු රජතුමාගේ ශ්‍රද්ධාවේ මහත් බව පෙන්වන කතාවකි)
(1) දුට්ඨ ගාමිණී අභය මහ රජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය. (2) මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය; (3) "මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහප්‍රාසාදය ද දකුණු පසින් මහාසෑය ද පෙනෙන සේ හොවව්" (4) මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හරී උතුම් මහාසෑය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇදෙහි හිදගෙන ඉදිරියෙහි තිබෙන, රහතන්ට වාසස්ථානය වූ මිරිසවැටිය දකී. (6) ඒ කලයෙහි ථේරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධවිහාරයෙහි වසයි. (7) දිවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතුවී අස්නක හිදගත්තේය. (8) එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීහ: "මහරජ බිය නොවුව මැනවි; ඔබ විසින් බොහෝ පින් කරන ලදී. (9) මේ මහසෑය චන්ද්‍රයා සේ පිරිසිදුව, සක්ගෙඩියක් මෙන් සුදුව, චන්ද්‍ර සූර්යයන් මෙන් බබළමින් මෙහි තිබේ. (10) මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙර මුදුන මෙන් ද බබළමින් පිහිටියේය. (11) ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන් ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනේ. (12) භික්ෂූන් ලක්ෂයකටද භික්ෂුණීන් අනූනවදහසකටද ඉතා වටිනා මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ. (13) ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල් ද නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.
(14) තෙරුන්ගේ කීම අසා රජතෙමේ මෙසේ කීහ; "මා විසින් යම් දනක් දෙනලද නම් ඒ සියල්ල සිහිකරමි. (15) නමුත් රාජ්‍යය ලබූ පසු මෙවනි දේ කිරීම අපහසු නැත. සිය නිවෙසින් පිටවී සැග වී සිටියදී යමක් දෙන ලද නම් එය අපහසු දීමකි. (16) පෙර කුමාර කාලයේදී පියා මට පරිභව කළ බැවින් මම සේවකයකු සමග කදුරට ගියෙමි. (17) එහි කාංගුම කාංගු පර්වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැදින නොගත්තේය. (18) මාලෙය්‍ය දේව තෙරනමද ධම්මගුත්ත තෙරනම ද ධම්මදින්න තෙරනම ද පූජ්‍ය වූ ව්‍යග්ඝ තෙරනම ද (19) යන සතරනම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩ සිටියාය. ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍රයක් ඇදගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබුකැටයක් ගෙන වැපිරීම සදහා කෙතට ගියාය. (21) මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය නො පෙනෙන ලෙස ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. (22) ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කළෙමි. (23) එවිට මා හදුනාගත් මිනිසුන් සතර දෙනෙක් දීකිරි කලයක් ද මස් ද මට පඩුරු සදහා ගෙනාහ. (24) මම ඒ සියල්ල එක්කොට වර්ණගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට (25) ඒ තෙරසතරනමගේ පාත්‍ර ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගන්නුවෙමි. (26) මාගේ දානය රැගත් දේව තෙරනමත් ධම්මගුත්ත තෙරනමත් අහසට නැගී ගියහ. (27) ධම්මදින්න ව්‍යග්ඝ තෙර දෙනම දියෙහි ගිලෙන්නා සේ පොළවෙහි ගිලී ගියහ. (28) මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ; අන් සියලු දානයන්ට ඉදිරියෙන් පෙනේ.
(29) තවත් දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ. තිස්ස කුමරු හා යුද්ධ කොට කීපවරක් පැරදී භටයන් විසින් ලුහුබදනා ලදුව (සංඝයා) මැවූ පර්වතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමාරා එතැනින් නැවතුනි. (31) වන මැදට පැමිණි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙම් යම්කිසි ආහාරයක් සෙවුවෙමි. (33) මාගේ කීම ඇසූ ඇමති තෙමේ " ස්වාමීනි මාගේ අතේ බත්මුලක් ඇත, ආහාර අනුභව කළ මැනැවැ " යි කීය. (34) "යෙහෙකි මිත්‍රය, ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව" යි මම කීවෙමි. (35) එසේ ගෙනාවිට එය අතට ගත් මම කදුළු පිරුණු ඇස් ඇතිව හඩමින් ශෝකයෙන් රත්වූ හර්දය ඇතිව මෙසේ සුතුවෙමි: " මම යම්කලක වැඩිවියට පැමිණියේමි නම්, එතැන් සිට මහසගනට නොදී කෑ බවක් නොදනිමි'. (37) මාගේ අදහස දැනගත් පුවගු දිවයින වැසි තෙරෙනමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේය. (38) සතුටු වූ මම එතුමාට වැද දෙකොටසක් එක්කොට සියතින් දෙනු කැමති වීම්. (39) තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමී. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි. (40) විචක්ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගී ආරාමයට පැමිණියේය. (41) එතුමා ඒ ආහාරය තෙළෙස් දහසක් භික්ෂූන්ට වැළද වීය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවීය. (42) අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍රය මනා කොට සෝදා හරවා යැවීමු. (43) මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සාපිසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි.
(44) සමූහයන්ට අග්‍ර වූ ශිලාදි නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංගයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානාදි නොයෙක් පින් කම් කළෙමි. මා රැස්කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේවපුත්‍රයා අනාගතයෙහි බුදු වන්නේය". මෙසේ කියා ඒ රජ කෘමී සමූහයාට වාසස්ථානය වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැග දෙව්ලොවට ගියේය.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ 'ඉතා පැරැණි සිංහල බණ කතා' පොතෙන් උපුටා ගැනිණි.
0 comments:
Post a Comment