තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින විට සිදු වූ එක්තරා සිදුවීමක් ඇතුලත් මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයට අයිති පිය ජාතික සූත්‍රයයි.
සැවැත්නුවර ජීවත් වූ එක්තරා ගෘහපතියෙකුගේ පුතෙකු මරණයට පත් වුණා. ඒ ගෘහපතියාට සිටියේ එකම පුතයි. ඔහු ඉතාමත් පි‍්‍රය මනාපයි. පි‍්‍රයශීලියි. කාගේවත් හිත් තලන්නේ නැති හොඳින් ඉගෙන ගැනීමේ දක්ෂ දරුවෙක්.
මේ දරුවා මරණය නිසා මේ ගෘහපතියා කිසිදු වැඩක් නොකර ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියා. පුතා මිහිදන් කළ තැනට ගිහින් අඬා වැටුණා. අනේ මගේ එකම පුතා කොහෙද ගියේ. මගේ පුතා කොහෙද ගියේ කියමින් වැළපෙනවා.
දිනක් තථාගතයන් වහන්සේ බැහැදැකීමට මේ ගෘහපතියා ආවා. ඔහු බොහොම දුකෙන් මුහුණ එල්ලාගෙන ඇවිත් පසෙකින් වාඩි වුණා. එවිට තථාගතයන් වහන්සේ විමසනවා "ගෘහපතිය ඔබ වෙනදා වගේ නොවෙයි. මුහුණත් වෙනස් වෙලා. අද ඔබේ ඉන්ද්‍රියන් ප්‍රසන්න නැහැ. ඒ ඇයි?"
"තථාගතයන් වහන්ස, මට සිටිය එකම පි‍්‍රයශීලි පුතා මැරුණා. පුතා මැරුණාට පසුසේ මට කිසිදු වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මට දැන් කෑමත් එපා වෙලයි ඒ හින්දා මම හැමදාම කනත්තට ගිහිල්ලා මගේ පුතා කෝ? මගේ පුතා කොහෙද ගියේ කියලා හැමදාම අඬනවා. ඒකයි මගේ මුහුණ දුර්වර්ණ වෙලා තියෙන්නේ.
තථාගතයන් වහන්සේ මේ ගෘහපතියාට කියනවා ඒක තමයි ගෘහපතිය, මේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සෑම දේම පි‍්‍රය දෙයින්හට ගන්නා එකක්. පි‍්‍රය දේවල් නිසා තමයි මේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පහළ වන්නේ කියා බුදුපියාණන් වහන්සේ වදාළා.
මෙය ඇසූ ගෘහපතියාට හොඳටම කේන්ති ගියා. බුදුරජාණන් වහන්ස, එහෙම වන්නේ කොහොමද? මේ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් කොහොමද පි‍්‍රය දේවල් වලින් හට ගන්නේ? ඒක වෙන්න බැරි වැඩක්. හොඳ දේවල් නිසා කොහොමද දුක හට ගන්නේ? ඒකනම් වෙන්න බැහැ කියමින් එතැනින් නැගිටලා ගියා.
ඔහු තථාගතයන් වහන්සේට දොස් පවරමින් යන අතරේ ඔහුට සූදුවෙහි යෙදී සිටිමින් සිටි පිරිසක් හමුවුණා. ගෘහපතියා ඔවුන්ට මේ වූ සිද්ධිය පවසමින් සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් හටගන්නේ පි‍්‍රයමනාප දේවල් නිසායි තථාගතයන් වහන්සේ වදාළා. මම ඒකට සතුටු වුණේ නැහැ. ඒ නිසා මම එතැනින් නැගිටලා ආවා කියනවා. එතකොට අර පිරිස මේ ගෘහපතියා කියූ දේ අනුමත කළා. පි‍්‍රයමනාප දේවල් නිසා සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් හට ගන්නේ නැහැ. ඒවා නිසා හට ගන්නේ සතුටක්මයි. ඔබගේ කල්පනාව හරි කියා ඔහුට කිව්වා. මේ ආරංචිය මුළු සැවැත් නුවරමත් රජ මාලිගාව දක්වාත් පැතිරුණා. කොසොල් රජතුමා තමන්ගේ දේවිය වන මල්ලිකා බිසව ආමන්ත්‍රණය කරලා කියනවා අපේ තථාගතයන් වහන්සේ කියා තිබෙනවා සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන සියල්ලම පි‍්‍රය දේ නිසා හට ගන්නවා කියලා.
මල්ලිකා දේවිය වදාළා රජතුමනි, බුදුරජාණාන් වහන්සේ එසේ වදාළ නම් එය එසේම වෙන්න ඇති. උන්වහන්සේ වදාළ දෙයක වෙනස් කිරීමක් නැහැ. ඒ වදාළ දේ හරිම තමයි.
මෙය ඇසූ කොසොල් රජතුමාට කේන්ති ගියා. බොහොම දොස් කියලා බැණ වැදුණා. ඇය එයට කලබල වුණේ නැහැ. එතැනින් ඉවත් වෙලා ගියා. ඇය ගිහින් නාළිජංග නම් බ්‍රහ්මණයාට කථා කොට බමුණ, තථාගතයන් වහන්සේ වැඩ වසන්නේ කොකැනද අන්න එතැනට ගොස් මගේ වචනයෙන් උන්වහන්සේ නමස්කාර කරන්න. සැප සනීප අහන්න. උන්වහන්සේගේ නිරෝගී බව, සැහැල්ලු බව, කාය බලය ගැන විමසා බලන්න. ඊළඟට මගේ වචනයෙන් උන්වහන්සේට වන්දනා කර ඔබ අසන්න, තථාගතයන් වහන්ස, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් හටගන්නේ පි‍්‍රයමානප දේවල් වලින් කියාල වදාළා බව ආරංචියි. ඒ කතාව ඇත්තද? එහි සත්‍යතාවයක් තිබෙනවාද? කියා දැනගෙන උන්වහන්සේ වදාළ දේ ඒ ආකාරයෙන්ම මට කියන්න?.
ඉතින් මේ නාළිජංග බ්‍රහ්මණයා තථාගතයන් වහන්සේ හමුවට ගිහින් මල්ලිකා දේවියගේ වචනයෙන් තථාගයන් වහන්සේ වැඳ නමස්කාර කර ඇය කියූ දේ කියා සිටියා. තථාගයන් වහන්සේ වදාළා ඒ කතාව ඇත්ත. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් හටගන්නේ පි‍්‍රය දේවල් නිසාමයි වදාළා. ඒ වගේම උන්වහන්සේ තේරුම් ගත්තා මා මේ කෙටියෙන් සංක්ශිප්ත ලෙස කළ ප්‍රකාශය නගරයේ මිනිසුන් වැරැදියට තේරුම් අරගෙන තිබෙන බව. ඒ නිසා උන්වහන්සේ ඒ දේ විස්තර වශයෙන් වදාළා.
ඉස්සර කාලයේ මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියකගේ මව පරලෝ සැපත් වුණා. මේ අම්මාගේ මරණයෙන් පස්සේ මේ ස්ත්‍රිය පිස්සුවෙන් මෙන් දුකින් උන්මත්තික භාවයට පත්වුණා. වික්ෂිප්ත සිත් ඇතිව සිත බොහෝ කලබලයට පත්ව පාරෙන් පාර හන්දියක් හන්දියක් ගානේ ගිහින් අනේ මගේ අම්මා දැක්කාද? අම්මා දැක්කාද කියලා අහනවා. ඒ අම්මාට පි‍්‍රයාතාවය වැඩි නිසයි.
ඒ වගේම ඉස්සර කාලයේ තවත් ස්ත්‍රියක් තම පියා මැරිලා මේ ලෙස අඬ අඬ සොයමින් ගියා. ඊළඟට සහෝදරයා - සහෝදරිය මැරිලා පුතා - දුව මැරිලා, ස්වාමියා- බිරිද මැරිලා මේ විදිහටම අඬ අඬ ගියා. මෙයින් අදහස් කළේ මේ මරණයට පත් වෙනවා කියන එකයි. මරණය එක් අයෙකුට සීමාවුණ දෙයක් නොවන බවයි. හැමතැනම මේ දේ වෙලා තිබෙනවා. පි‍්‍රය වූ අය ඉන්නේ තමන්ට පමණක් නොවෙයි. ඔවුනොවුනට එකිනෙකා පි‍්‍රයයි. ඒ ඒ පි‍්‍රයයතාවය අනුව ඒ පි‍්‍රය කරන පුද්ගලයා නැතිවෙන කොට දැනෙන දුක වැඩියි. මරණයේ තිබෙන අත්දැකීම එක් අයෙකුට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. එය ලෝකයේ සෑම දෙනාටම පොදු ධර්මතාවයක්. අන්න ඒ ධර්මතාවයට අප වටා ඉන්න පි‍්‍රය අපි‍්‍රය හැම දෙනාම ගොදුරු වෙනවා යැයි තථාගතයන් වහන්සේ වදාළා. මේ සියලු දුක් දොම්නස් ඇතිවන්නේ ආසාව, කැමැත්ත, පි‍්‍රයතාවය බැඳීම නිසයි. අවසානය දුකයි. එයින් ඇතිවුණේ පීඩාවයි.
අර බමුණා විස්තර අසාගෙන ඇවිත් මල්ලිකා දේවියට කිව්වා. ඇය දැන් සියල්ලම දන්නවා. දිනක් කොසොල් රජතුමා ළඟට ගොස් අසනවා
රජතුමනි ඔබ අපේ දුවට ගොඩක් ආදරෙයි නේද?
ඔව් මම ගොඩක් ආදරෙයි
ඇයට හදිසියේ ලෙඩක් දුකක් ඇති වුවහොත් හදිස්සියේ මරණයට පත් වුණොත් ඔබට දුකක් නැද්ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ඔබට හටගන්නේ නැද්ද?
දේවිය ඒ වේලාවේදී දුක්වෙන එක අහන්න දෙයක්ද?
මහරජ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හටගන්නෙ කියලා තථාගතයන් වහන්සේ වදාළේ මේ නිසායැයි මල්ලිකා දේවිය පැහැදිලි කළා.
රජතුමා එය පිළිගෙන තථාගතයන් වහන්සේට තුන් වතාවක් වන්දනා කොට උන්වහන්සේ දෙසූ එම ධර්ම කාරණා ඒ ආකාරයෙන්ම පිළිගත්තා.
තෙරුවන් සරණයි!
ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
ධර්ම දානය : Path to Nirvana
0 comments:
Post a Comment